Wednesday, 19 July 2017

කාගෙද මේ කුණු .... කවුද ගන්නේ කුණු... 1 කොටස

අපි පාසල් යන කාළයේ කෑම පෙට්ටිය අනිවාර්ය කලේය. ඒ, පාසල තුල එකතු වන කුණු කන්දත්, එක දවසක් කුණු ඉවත් නොකලොත් ඇතිවන දුර්ගන්දයටත් පිළියමක් ලෙසය. ඊට පසු හැන්ද අනිවාර්ය කලේය. ඒ ජල පරිභොජනය අවම කර ගන්නට. තවද, අත සොදන්නට පොළිමේ ඉන්නට වෙන නිසා විවේක කාළය කළමනාකරනය කර ගන්නටය. මේ විදිහටම අපි ටියුෂන් වලත් කෑවෙමු. 1000-2000 ඉන්න පංතියක කරාම 2-3කින් යැපෙන්නට මේ ක්‍රමය හොදය. හැබැයි අපි ඒ නිසා 'පොෂ් ඩයල්' ගනයට වැටුනෙමු. තවද මේක් අපිටත් වදයක් වුන අවස්තා ඇත. තෙල් දාපු කෑමක් තිබ්බ දාට කෑම පෙට්ටිය සේදිම මහා හිසරදයක්ය. කන් කෙදිරිය නිසාම ඒකට බත් ඔතන කොළයක් දමා අම්මා සමහරදාට කෑම ඔතනවා. ඕක පාසලට තහනම් නිසා ගෙදර ගෙනත් විසි කරනවා... සිකුරාදාට සෝදන්න අමතක උනොත් සඳුදා උදේට ඔලුව විකාරය. ගඳ මදිවාට බැණුම්ය. මේ නිසා පාසලෙන් පසු කෑම පෙට්ටියට බයි බයි කීවෙමු. කොහොමත් ඉතින් සරසවි වල කෑම පෙට්ටි හැදි ගෙනත් කන්න ගියොත්.. එක්කොත් ඒක ඕනේ නැත...

ගෙදර ඉදන් කැම්පස් ගිය නිසා කෑම එක ටිකක් ලොකුවට ඔතන්නේ බෝඩිම් සෙට් එකක් ඉන්න නිසාය. විශේෂ දවස් වලට කෑම එක ඔතන්නට එක කොළයක් මදිය. අපේ ගෙදර කෙසෙල් ගස් කීපයක් තිබුනේය. ඉදහිට කෙසෙල් කොලයේත් බත් ගෙනියපු අවස්තා ඇත. විශෙෂයෙන් අම්මාට බඩු ලිස්ට් එකට ලන්ච් ෂීට් ලියන්න අමතක වුනු දවසටය. කැම්පස් එකේ සමහර කැන්ටීන් වලත් පිඟානට කෑම බෙදන්නේ පොලිතින් කවරයක් තියාය. හැමදාම සුද්ද නොකලොත් කැන්ටීන් ලඟ කුණු බක්කි වල පුදුම ගඳක් ඇත. රස්සාවට යන කාළයේ ගඳ ප්‍රශ්නය නොතිබ්බත් කියන්නට තියන කාරණාව මීටම සමානය. 

අපි පාසල් යන කාලයේ සංස්කෘතික නගර හෝ හරිත නගර කියලා මහනුවර නම් කිරිමත් සමග රජය විසින් තැනින් තැන කුණු දමන්න ලොකු පොඩි බාල්දි සවි කලා. ඒ කලේ ගන්නොරුවට යන ගැටඹේ පාළම දෙපැත්තේ දෙකක් තිබ්බ. තව හදබිම අධිකාරිය ආසන්නේ ලොකු එකක් තිබ්බා. පාසල් යන, කාර්යාල වල යන අය ඒ නිසා මහ මහ කුණු නොදා ඒවාට දාන්න පුරුදු වෙලා තිබ්බා. 2015 වසරේ ලංකාවට ගියාම ඔය මතකයට ගන්නෝරු පාරෙන් ආවා අතේ ලොකු කුණු මල්ලක් තිබ්බ නිසා. ඒත් එකක්වත් දකින්න තිබ්බේ නැහැ. හැබැයි අර කුණු දාන්න ලොකු බාල්දිය හයි කරලා තිබ්බ තැන හෝ ඊට පොඩ්ඩක් එහායින් නිකන් බිම ලොකු කුණු ගොඩක්. බල්ලොත් අවුස්සලා දාලා. 

පෙරහැරට පස්සේ, ක්‍රිඩා උත්සව වලට පස්සේ ඒ අවට පරිසරය යකා නැටුව සොහොන්මය. රජය විසින් කුණු බැහැර කරන්නට ප්‍රමාණවත් පහසුකම් මේවාට සලසා දිය යුතු අතර, මිනිසුන්ට නොදැනි අතින් සීරුවට ගිලිහි යන කුණු ගැන හිතන්න මනස සකස් විය යුතුය. 


හැමෝම වැරදි කරන විට තමන් හරියට ඉන්නට හොඳ හැදියාවක් හා හික්මීමක් තිබිය යුතුය. මේ මහා කුණු ගොඩට මගෙ පොඩ්ඩ මොකද්ද කියා හිතෙන්නේ ඒ නිසාය. පාරේ එක මිනිහෙක් හලලා ගිය මල්ල දවස් දෙක තුනක් යද්දි මහ විශාලෙට වැඩෙන්නේ ඒ නිසාය. කාගෙත් කිල්ලෝට වල හුණු ටික ටික නැතුවම නොවේ.

සුද්දො අපිට ප්ලාස්ටික් දුන්නට උන් එවා පරිසරයට දමා විනාශ කලේ නැත. ඒවා යලි යලි පරිභොජනය කරන්නට ක්‍රම හැදුවේය. අපි සුද්දගෙන් ප්ලස්ටික් විතරක් අරන් උන්ට බැන බැන ඉන්නෙමු. අපි පිටරට වලින් ගන්නා බොහොදේ වලට සිද්ද වී ඇත්තේ මේ දේ...

තව ලියන්න කුණු ගොඩයි. පස්සේ බලමු......