Tuesday, 15 August 2017

කාගෙද මේ කුණු ..... ? කවුද ගන්නේ කුණු....? 2 කොටස



(පළමු කොටස මෙතනින්...
https://inosha-sithumprasadhea.blogspot.fi/2017/07/1.html)



පහළ තියන ලින්ක් එක තියෙන්නේ මම දැනට ජිවත් වෙන රටේ කුණු වර්ගීකරනය කරන විදිහ.

http://www.infopankki.fi/…/h…/waste-management-and-recycling

අපේ ගෙවල් වල අඩුම තරමේ කුණු දාන්නට කුණුකූඩ දෙකක්වත් තියෙනවා. හුඟක් වෙලාවට 'bio waste' සහ 'mixed waste' විදිහට කුණු වෙන කරලා විසිකරන්න පුලුවන් ලේසියෙන්ම. හොඳට එළදෙන්නු හදන්න පුලුවන් ලංකාවේ, නවසීලන්තයෙන් පිටි කළ ප්‍රනීත කිරි බීවාට මෙහෙ බොන්නේ එළකිරි. ඒවා එන්නේ කාඩ්බොඩ් පෙට්ටි වල. ඒ නිසා ඒවා කොහොමත් වෙනම විසි කරන්න වෙනවා. තව ඉතින් දවසකට පත්තර 4-5ක් බෙදනවා, ගණන් අඩු කළ භාණඩ වරග වල විස්තර දලා, ඒකනම් එක අතකට අපරාදයක්ද හිතෙනවා. ඕවා බලලා එදාට ගිහින් බඩු ගන්නවා අපිත්, ඒත් ඉතින් සතියකට ගොඩ ගැහෙන පත්තර කන්ද දැක්කම එහෙම හිතෙනවා. නිවාඩුවකට යද්දි පත්තර එපා කියලා දොරෙ ගහන්න අමතක උනොත් ගෙට ගොඩ වෙන්න එහෙම ලේසියකට බැහැ එන දවසට. පත්තර ඉතින් වෙනම විසි කරනවා. ඔය වර්ගීකරණය ටිකක් කරදරයි, පුරුදු වෙනකල්. ඒ කාලේ 'Mixed waste' එක නියමයි ;) ...
ඕකයි කුණු වර්ගීකරනය ගැන තියන කතාව... ඊට වඩා මට කියන්න ඕන උනේ වෙනම කතාවක්..
උඩ දාපු ලින්ක් එකෙ යටම තියෙනව...
How to reduce the amount of waste? කියලා, ඕකේ කරුණු 3ක් තියෙනවා මෙහෙම...
1. Buy durable items. You can earn some money by selling them later.
2. Buy and sell used goods.
3. Take good care of your goods and store them according to the instructions.

දෙයියනේ කියලා මංගල්ලය එහෙම අරන් මෙහෙ එද්දි මටත් ඉතින් ජොබක් එහෙම නැතිව ආව එකේ ගෙදරට ඕනේ කරන බඩු මුට්ටු අලුතින් ගන්න ගියානම් නියමයි. මෙහෙ තියෙනවා Second hand shops . ඕවාගේ තියෙන්නේ පාවිච්චි කළ භාණ්ඩ. හොඳ තත්වයේ තියෙනවා. අනික් විදිහ තමා, ඉස්සර ආපු දවස් වල නම් email වලින් දැන් නම් facebook page ( https://www.facebook.com/groups/OuluSalePoint/) එක්කින් තමන්ට අවශ්‍ය බඩුමුට්ටු මිළදි ගන්න පුලුවන් විදිහ . මට මතක විදිහට යුරො 50-60ක් වගේ වෙද්දි ගෙදරට අත්‍යාවශ්‍ය ලී බඩු සියල්ල ගන්න පුලුවන් වුනා. ඕක ඉතින් රිම් එකේ පිටරට එන කෙනෙක්ට කියාපු දෙයක්නේ.. නැද්ද..?. අපි පොඩ්ඩට බඩු ගන්න කළින් මෙහෙ අයගෙන් අහද්දි මුලින්ම කියන්නේ අර බඩු විකුණන තැන් ගැන. අපේ ලොක්කත් අපි දෙන්නට එහෙම හොඳ දේශනයක් දුන්නා. මෙහෙ එහෙම බඩු ගන්නේ සල්ලි නැති, පිටින් ආව මිනිස්සු කියලා දෙයක් නැහැ. මෙහෙ ජිවත් වෙන සල්ලිකාරයොත් ඔතනට ගිහින් තමන්ට ගැලපෙන හොඳ දෙවල් තියෙනම් ගන්නවා. විශේෂයෙන් පොඩිම අයගේ ඇදුම්, කාර් සීට්, ඇදන් වගේ දෙවල්. පොඩිම කාළේ ඇදුම් සතිය දෙක, මාසය යද්දි මදිවෙනවා, කිසිම පලුද්දක් නැති ඇඳුම් හොයා ගනන් පුලුවන්. ඒත් ඉතින් ඔය කියන මානසිකත්වය හැදෙන්නේ නැහැ ලේසියකට. ඉදිකට්ටේ පටන් අලුත් දේවල් ගන්න මිසක් පාවිච්චි කළ දෙයක් ගන්න හිතෙන මානසිකත්වය අපිට හරි අඩුයි. විශේෂයෙන කුළුදුලේ එන පොඩි එකාට. මෙහෙ ලස්සන ගවුම් හරි අඩුයි. අවුරුදු 2 උපන්දිනයට ගවුමක් ගන්න හොඳ කඩයක් ගැන ඇහුවා ගෑණු ළමයින්ම දෙන්නෙක් ඉන්න අම්මා කෙනෙක්ගෙන. මගේ ළඟ තියෙනවා එකක් ගෙනත් දෙන්නද ඇහුවා මිසක් මට කඩයක් ගැන නම් විස්තරයක් අහ ගන්න බැරි උනා. ඒදෙවල් සාමාන්‍ය දෙවල් බවට පත්වෙලා. අපි නම් ඉතින් දෙයක් දේන්න අහන්න කළිනුත් මොන තරම් හිතනවද.. ඒ හින්දා අන්තිමට කිසිම වැඩකට නැති දෙවල් අපේ ගබඩා කාමර වල පිරිලද? දුක් විඳලා හම්බ කරපුවා විසික් කරන්නත් බෑ. දෙන්න අහන්නත් බෑ. නිකන් දුන්නම අගයකුත් නැහැ. විකුන ගන්න විදිහකුත් නැහැ.
ඉතින් ප්ලාස්ටික් බඩු, ඉලෙක්ට්‍රික් බඩු එහෙම නැවත වතාවක් පාවිච්චි කරන්න පුලුවන් නම් ඒවා දහ දොලොස් පාර හරි අති අතට විකිනෙනවා. සමහරු මුදල් නොගෙනත් දීලා යනවා. මේක මටනම් හිතෙන විදිහට කුණු අඩු වෙන්නත් හුඟක් මිනිස්සුන්ට අවශ්‍යය බඩු බාහිරාදිය සැළකියයුතු ගානකට ගන්නත් හොඳ ක්‍රමයක්.

නිකමට හිතලා බැලුවොත් සපත්තු, ඇදුම් පාවිච්චි නොකරන පුටු, ඇදවල් කොච්චරද..?? ළඟ පාත ඉන්න දුප්පත් මිනිස්සුන්ට අපි දෙනවනේ කියලා ඇහුවොත් කියනවා. සල්ලි තියන එකා පාවිච්චි කළ දේ දුප්පත් එකා පාවිච්චි කරන එක ඉතින් ඌ ලබා උපන් හැටිනේ... සල්ලි තියන එකා පොඩි ගානක් දිලා තමන්ට ඕන කරන වැඩෙ කර ගන්න දෙවල් ගන්න එක.. ඒඒක ඉතින් උගේ කුණු කමනේ.. ඔන්න ඔය වර්ගීකරණයෙන් මිදිලා ඉන්න පුලුවන්නම් හොඳයි කියල මට හිතෙන්නේ..

Monday, 7 August 2017

මව්නි පියාණනි..

හැදි ගෑරුප්ප්පු හුරු නැතුවට කමක් නැත...
අනලා කවන බත්පතේ රස නිමක් නැත...

ඉංගිරිසිය බැරි වුවාට දොසක් නැත...
නැළවිලි ගීය මිහිරිය සැමදා ලෙසට...


යහමින් මෝස්තර නැතුවට දුකක් නැත...
පඩියට ගෙනා ගවුමේ හැඩ මතක ඇත...


සරසවි නොගියාට දැණුමෙහි නිමක් නැත...
'මට ඒ තුනයි..' එදවස තව මතක ඇත...

හැම් බේකන් නැතුවට කිසි අඩුත් නැත...
කුසගිනි දැනුන දිනයක් මතකයේ නැත...

සැරවැර රැවිලි ගැන තරහක් හිතේ නැත...
උණටත් නිදිවැරුවා තවමත් මතක ඇත...

හිතුවක්කාරකම් ගැන දුක නැත්තේම නැත...
කහටක් හිතේ නැති වගනම් සැකක් නැත...

Wednesday, 19 July 2017

කාගෙද මේ කුණු .... කවුද ගන්නේ කුණු... 1 කොටස

අපි පාසල් යන කාළයේ කෑම පෙට්ටිය අනිවාර්ය කලේය. ඒ, පාසල තුල එකතු වන කුණු කන්දත්, එක දවසක් කුණු ඉවත් නොකලොත් ඇතිවන දුර්ගන්දයටත් පිළියමක් ලෙසය. ඊට පසු හැන්ද අනිවාර්ය කලේය. ඒ ජල පරිභොජනය අවම කර ගන්නට. තවද, අත සොදන්නට පොළිමේ ඉන්නට වෙන නිසා විවේක කාළය කළමනාකරනය කර ගන්නටය. මේ විදිහටම අපි ටියුෂන් වලත් කෑවෙමු. 1000-2000 ඉන්න පංතියක කරාම 2-3කින් යැපෙන්නට මේ ක්‍රමය හොදය. හැබැයි අපි ඒ නිසා 'පොෂ් ඩයල්' ගනයට වැටුනෙමු. තවද මේක් අපිටත් වදයක් වුන අවස්තා ඇත. තෙල් දාපු කෑමක් තිබ්බ දාට කෑම පෙට්ටිය සේදිම මහා හිසරදයක්ය. කන් කෙදිරිය නිසාම ඒකට බත් ඔතන කොළයක් දමා අම්මා සමහරදාට කෑම ඔතනවා. ඕක පාසලට තහනම් නිසා ගෙදර ගෙනත් විසි කරනවා... සිකුරාදාට සෝදන්න අමතක උනොත් සඳුදා උදේට ඔලුව විකාරය. ගඳ මදිවාට බැණුම්ය. මේ නිසා පාසලෙන් පසු කෑම පෙට්ටියට බයි බයි කීවෙමු. කොහොමත් ඉතින් සරසවි වල කෑම පෙට්ටි හැදි ගෙනත් කන්න ගියොත්.. එක්කොත් ඒක ඕනේ නැත...

ගෙදර ඉදන් කැම්පස් ගිය නිසා කෑම එක ටිකක් ලොකුවට ඔතන්නේ බෝඩිම් සෙට් එකක් ඉන්න නිසාය. විශේෂ දවස් වලට කෑම එක ඔතන්නට එක කොළයක් මදිය. අපේ ගෙදර කෙසෙල් ගස් කීපයක් තිබුනේය. ඉදහිට කෙසෙල් කොලයේත් බත් ගෙනියපු අවස්තා ඇත. විශෙෂයෙන් අම්මාට බඩු ලිස්ට් එකට ලන්ච් ෂීට් ලියන්න අමතක වුනු දවසටය. කැම්පස් එකේ සමහර කැන්ටීන් වලත් පිඟානට කෑම බෙදන්නේ පොලිතින් කවරයක් තියාය. හැමදාම සුද්ද නොකලොත් කැන්ටීන් ලඟ කුණු බක්කි වල පුදුම ගඳක් ඇත. රස්සාවට යන කාළයේ ගඳ ප්‍රශ්නය නොතිබ්බත් කියන්නට තියන කාරණාව මීටම සමානය. 

අපි පාසල් යන කාලයේ සංස්කෘතික නගර හෝ හරිත නගර කියලා මහනුවර නම් කිරිමත් සමග රජය විසින් තැනින් තැන කුණු දමන්න ලොකු පොඩි බාල්දි සවි කලා. ඒ කලේ ගන්නොරුවට යන ගැටඹේ පාළම දෙපැත්තේ දෙකක් තිබ්බ. තව හදබිම අධිකාරිය ආසන්නේ ලොකු එකක් තිබ්බා. පාසල් යන, කාර්යාල වල යන අය ඒ නිසා මහ මහ කුණු නොදා ඒවාට දාන්න පුරුදු වෙලා තිබ්බා. 2015 වසරේ ලංකාවට ගියාම ඔය මතකයට ගන්නෝරු පාරෙන් ආවා අතේ ලොකු කුණු මල්ලක් තිබ්බ නිසා. ඒත් එකක්වත් දකින්න තිබ්බේ නැහැ. හැබැයි අර කුණු දාන්න ලොකු බාල්දිය හයි කරලා තිබ්බ තැන හෝ ඊට පොඩ්ඩක් එහායින් නිකන් බිම ලොකු කුණු ගොඩක්. බල්ලොත් අවුස්සලා දාලා. 

පෙරහැරට පස්සේ, ක්‍රිඩා උත්සව වලට පස්සේ ඒ අවට පරිසරය යකා නැටුව සොහොන්මය. රජය විසින් කුණු බැහැර කරන්නට ප්‍රමාණවත් පහසුකම් මේවාට සලසා දිය යුතු අතර, මිනිසුන්ට නොදැනි අතින් සීරුවට ගිලිහි යන කුණු ගැන හිතන්න මනස සකස් විය යුතුය. 


හැමෝම වැරදි කරන විට තමන් හරියට ඉන්නට හොඳ හැදියාවක් හා හික්මීමක් තිබිය යුතුය. මේ මහා කුණු ගොඩට මගෙ පොඩ්ඩ මොකද්ද කියා හිතෙන්නේ ඒ නිසාය. පාරේ එක මිනිහෙක් හලලා ගිය මල්ල දවස් දෙක තුනක් යද්දි මහ විශාලෙට වැඩෙන්නේ ඒ නිසාය. කාගෙත් කිල්ලෝට වල හුණු ටික ටික නැතුවම නොවේ.

සුද්දො අපිට ප්ලාස්ටික් දුන්නට උන් එවා පරිසරයට දමා විනාශ කලේ නැත. ඒවා යලි යලි පරිභොජනය කරන්නට ක්‍රම හැදුවේය. අපි සුද්දගෙන් ප්ලස්ටික් විතරක් අරන් උන්ට බැන බැන ඉන්නෙමු. අපි පිටරට වලින් ගන්නා බොහොදේ වලට සිද්ද වී ඇත්තේ මේ දේ...

තව ලියන්න කුණු ගොඩයි. පස්සේ බලමු......