Tuesday, 30 October 2012

පුජාසනයේ.....



  කොල්ලකා මා ආත්මය,
   උදම් අනමින් දොස් නගා...

  මළවුවකු කළ මගෙ ජීවය,

   ඔච්චමට පුරවා සිනා...

  සැබැ මිනිසුන් වාරුවෙන්,

   යළි නැගි කළ සිනහවෙන්...

  පාන නුඹ ඔය සිනහවන්,

   තරම් මට නැත කිසිත් පිළිකුල්...

  මළවුවන්ගෙන් නොනැගිට්ටෙමි මා,

   පිළිගන්න ඔය සෙනෙහෙ සිත්...

  කරමි මා පිං යළි යළිත්,

   නොදකින්න මතු ලෝ තලේ ....

  නුඹ වන් වු,

   මිනිස් වෙස් ගත් අමනසුන්..!!!

      නන්දා මාලනි මහත්මියගේ "පුජාසනය" ගීතය ඇසුවිට ආ අදහසකි....


Saturday, 20 October 2012

පින් කළ ඈයෝ.....


  අඳුර නසන්නට පහන් දිදුලුනද..
     හිරු දෙවියන් වදිනා දරුවෝ...

  සයුරක් පරතෙර නොමැතිව ගැලුවද..

     දිය සීරා සැම රැක ගත්තෝ

  අනෙකුගේ කඳුළැලි නෙතු අග දුටුකළ...

     සිත මුකුලිත වු පින් ඈයෝ...

  වී නම් නුඹ ළඟ ඇසුරට කෙදිනක..

     පිනකි නුඹත් කළ පෙරයම් භවයක....



Monday, 6 August 2012

පව් කළ පුතුන්....????


 පිටට ඇලුනු කුස,
 දිය සහලෙන් පුරවා..
 වෙව්ලන දෙ අත්, 
 හරි හරියට වෙහෙස දරා...
 මහතුන් කරපු පුතු ලෝකය,
 සිතේ දරා...
 වැහැරුනු දෙනෙත් 
 තවමත් මග හිදි බලා...

 නිවන් යන්න නොව 
 දුක උහුලනු මෙහෙම...
 ආ මග හැරෙනු බැරිකමටය
 මේ ගමන...
 මිලමුදලින් එව්වත් 
 යහමින් නුඹට..
 දනිමි අම්මේ තනිකම
 මහමෙර උසය...

 බැදුනු කළට රන් හුයකින්,
 දෙ අත් කොට..
 දරුවන් එන්නේ,
 තනිකම දුරලා යන්න..
 හිටියත් විසි-තිස් වසක්,
 තුරුලෙ ලය මඩල...
 යා යුතු ගමන,
 යන්නට දුන්නේ පිහිට...


 ආ මග හරිද වැරදිද,
 තේරෙන්නේ නැති...
 නුඹ කවදාක හිනහෙවිද,
 දන්නේ නැති..
 වැදු පිනට වත්,
 ළඟ හිඳ සලකන්න බැරි...
 පව් කළ පුතුන් මිස,
 අන් කවරෙක්ද අපි...

Thursday, 24 May 2012

අඩුම තරමින්....???

ලබාගන්නා තුරු..
     විමුක්තිවාදයෙන්ද,
ලබාගත් පසු..
     ප්‍රගතිගාමිත්වයෙන්ද,
පවත්වාගනුවස්..
     පක්ෂගාමිත්වයෙන්ද,
ලොවට පෙනෙනුවස්..
     පරහිතගාමිත්වයෙන්ද,

ආදි වු..
     මනෝ විලම්භනයෙන්..
රඟනා නුඹට,
     කුමක් නැතත්,
අඩුම තරමින්..
     හෘදය සාක්ෂියක් වත්....??

Monday, 9 April 2012

අපේ ලෝකේ...


 මා නිහඩ විමි..

 මන්ද,
මා සුදු වැන් රියට බයමි...
අතුරුදන් විමට බයමි...
රකින්නටද,
මා මත සිනා වෙන්නද,
පවුලක් මා සතුය..
ඉතින් කෙසේ හඩ නගමුද..??
මා අන්ධය,
බිහිරිය..
එවිට මා ඉබේම 
ගොළු විය..
අමාරුය යැපෙන්නට..
විදින්නට ජිවිතය...
ඒත් 
අපි ජිවත් වන්නෙමු..
ආශ්චරයක් වන තුරු
නැතත්..
ලෝක විනාශය වනතුරු
බලමු අපි..
සැපක් විදින්නට නොව
එක්ව මියෙන්නට....

Sunday, 1 April 2012

ප්‍රාර්ථනා..

  පාළුව, තනිකම නොදැනෙවා නිති..
  පිරෙවා සිත පුරා සොම්නස...
  
  කුසට ගින්දර නොවේවා නිති..
  දිවට නීරස රසම වේවා...


  නොවේවා කිසි නපුරු ඇසුරක්..
  ලැබේවා ප්‍රිය මිතුරු ඇසුරක්...


  නොවි ලෙඩ දුක් කිසිත් කිසිදින..
  ගෙවේවා කල් ඉක්මනින්...


  හමුවෙනා මේ රුදුරු කරදර..
  දුරු වෙවා නුඹේ ගුණ බලින්...


  ගෙවේවා මේ කල්ප කාළය..
  නිමේෂය සේ ඉක්මනින්....

Thursday, 22 March 2012

ආවර්ජනා...

සේයා රුව උපුටා ගත්තේ http://flickriver.com/groups/e97/pool/random/
මතකය අතර රස රිසි දේ මැවෙන       කල
සෙනෙහස් සිසිල හිත අද්දර නැගෙන  කල
පොත්ගුලු වසා දඟකම් ඉඟි කරන       කල
යන්නට හිතයි ආයෙත් සරසවිය        වෙත
....

- ඉනෝෂා

Wednesday, 29 February 2012

දයාබර හිමිට...

 මගේ සුසුම් නුඹ අරගෙන,
 මද පවනක් මවලා නුඹ..
 මා සැතපුව හැටි මතකයි,
 ඔය සුන්දර නෙතු අද්දර......


 නෙතු අග කඳුළැලි ගුලිකර,
 හිරිපොද වැස්සට එක් කර..
 තාලයකට ඇද වැටිච්ච,
 මල් වැස්සක් වුවයි නුඹ......


 කුණාටු දහසින් මුකුලිත,
 මා සිත ආලෙන් දැඩි කර..
 මුලු ලෝකය නිෂ්චල කර,
 අපෙ ලෝකය එහි තැනුවයි.....


 සඳක් වු සොමි කැළුම් විහිදන,
 ඉරක් වු එළියක්ව බබළන,
 ගඟක් සේ සිසිලසින් නහවන,
 පිනක්මය හිමි විදින නුඹ පෙම....

Friday, 13 January 2012

සිහින කොතරම් සුන්දරද අද.....

කල්පයක් කල් බලා සිටි නිති..
කල්ප දින අද උදා වී ඇත...
පැයද දිගු වේ, රැයද නොගෙවෙයි..
අරුමයක් මයි සිතම කැළබෙයි...

පෙනෙන නොපෙනෙන ලොවෙත් නුඹමයි..
ඇසෙන නැසෙන හඬෙත් නුඹමයි..
තිගැස්සෙයි හද සිතනු නොහැකිව..
සිහින කොතරම් සුන්දරද අද..

වසන්තය දෝතින්ම අරගෙන..
කාළෙකින් නුඹ එවි මව් රට..
සිත පිරෙන්නට දකින්නට නම්..
දෙ ඇස් මදිවේ, සිතේ මා හට...