Monday, 24 October 2011

ගිලී නොගිය මගේ මතකය......

         පහුගිය දවස් ටිකෙම එකම එක බලාපොරොත්තුවක් පුරොගෙන එකම එක පැතුමක් හිත තියාන කොච්චර හිටියත් අවසානයේ ඒකත් තවත් සුන් වුන පැතුම් ගොන්නටම එකතු උනා.   මුලු තායිලන්තයම යට වෙද්දිත් අපි බලාන උන්නේ අපි අවුරුදු 2ක් ඉගන ගත්තු AIT එකට එක වතුර බින්ඳුවකින් වත් කරදරයක් නොවෙන්න කියන ප්‍රාර්ථනාවකින්. ඒ අපි ඒ තරම් ඒ බිමට ආදරය කළා. මේ භයානක වැස්ස තායිලන්තයෙන් ඉවත් වෙන්න කියලා දහස් වරක් කිවේ අපිට බොහොදේ කිය දුන් බොහො මතකයන් එකතු කල ඒ සුන්දර පරිසරය බොඳ වෙලා යනවා බලාන ඉන්න බැරි නිසා. එකට උයාන පිහාන එක බත් එක බෙදාන කාපු අපේම තවත් පිරිසක් දුක් විදි කියන භය හිත ඇතුලේ තිබුන අනෙක් කාරණාව.

         මා දුටු තායිලන්තය කියලා මුලු රට ගැනම විස්තරයක් ලිවේ ඇත්තෙන්ම ඒ රටෙන් අපිට උගත හැකි බොහොදේ තියෙන නිසා. වෙන රටක ඉගෙන ගෙන ඇවිත් ඒ රටට ආ වඩන්න නෙමේ. මා දුටු පරිසර වලින් පේරාදෙනියට විතරක් දෙවනි වෙන ආසියානු තාක්ෂණ ආයතනය හැබවින්ම අපිට සුන්දරම සුන්දර මතක රැසක් එකතු කලා. කොතරම් හැල හැප්පිම් ගැටුම් තිබ්බාත් සහොදරත්වය උතුරා ගිය මව් රට සහ පිට රට පිරිස් සමුහයක් හමුවුන සුන්දර වාසස්ථානයක තමා එහෙ තිබ්බේ. රටින් පිටට අපේ කියලා කවුරුවත් නැහැයි කියාන හිතාන යන අපිට මේ බිමත් ඔයාලගේ, මෙහි සියලු සම්පත් අත් විදින්න කියලා සැම සැප පහසු කමක් සහිත බිමක්ද, ඒ වාගෙම දහසක් ක්‍රියාකාරකම්ද එකතු කලේ අපුරුම අත්දැකිමක්.....

           අපි බහුතරය එතන හිටියේ ලංකාවේ නිදහස් අධ්‍යාපනය උපරිමෙන් භුක්ති විද ශිෂ්‍යත්ව ලබා ගෙන පශ්චාත් උපධි සඳහා ගිය අය. ඒ නිසාද කියන්න දන්නේ නෑ ඒ  බිමටද, එහි යන්න මග පෑදු ලංකාවේ අධ්‍යාපන පද්ධතිය තරමින්ම අප ආදරය කරන්නේ. අද වෙනකොට එහි සිටි සියලුම සිසුන් තම ගම් රටවල් බලා පිටත් වෙන්න පටන් අරං. මීටර 2.5 උඩට වතුර ගලලා මුලු සරසවියම අද වෙනකොට ගිලිලා. ඒත් ජිවිතේ බොහො දෑ සටහන් කළ ඒ සුන්දර මතකය ගිල ගන්න බැරි අපි හැමොම ආයෙම හැම දෙම තිබුන තැනට පත් වෙනකල් බලාන ඉන්නවා.


~~~~~~~~~~~~~~*****************~~~~~~~~~~~~~~~~******************~~~~~~~~~~~~~~


හුදකලාව තුරුලු කරන් හිත් මානේ,
තනිවම ආවේ නුඹ තුරුලට පෙර දිනයේ,
සෙනෙහස උතුරලා නුඹ පිළිගත් මොහොතේ,
පින් කළ බවකි හැඟුනේ අප හිත් පත්ලේ......
 
පැදුරු පාටි, අවුරුදු උත්සව අතරේ,
සැනසුම දැනුනේ සිටියද නිවසින් දුරක,
ඉපදුන දිනය අමතකවුවද නිතිනේ,
දොළහේ කනිසමට සුභ පැතුමන් එන්නේ........
 

තිස්පස් රටක ජනයා එක් උන අතරේ,
ක්‍රිඩා, රැගුම්, ගායන, උත්සව ඇත්තේ,
අඩුවක් නැතිව සතුටින් ඉන්නා අතරේ,
අඩුවක් නැතිව විභාගයත් ගොඩ ගැසුනේ......

සුන්දර දහක් දෙවල් මැවු සොඳුරු නුඹ, 
අද ගිලිලාය ආ ඒ රුදු ජල කදට, 
අපි සැම එක්ව නගනා පැතුමේ පිනට, 
සිටි සේ නැගිටියන් මවමින් සුරපුරය.....


 නුඹ යලි ඉපදෙනතුරු අපි සියල්ලොම බලා ඉන්නෙමු.......

Friday, 21 October 2011

අතිතයට රවුමක් යමුද.....??



          අතිතය ගැන මොකද හිතෙන්නේ. ආපහු ගිහින් එන්න එහෙම හිතෙන්නේ නැද්ද. මේක ලියන්න හෙතුව වුනේ, අපේ සරසවියේ මල්ලි කෙනෙකුගේ පුංචි කවි පද වැළැක් දැකලා. අතිතයට යන්න අතිතය වෙනස් කරන්න යන්න හිතිලා ලිව කවි පද පෙළක් එක. අපේ සමහර සිදුවීම් සමග අපි දවසට කී පාරක් නම් හිතනවද මේක මෙහෙම නොවි මෙහෙම කලානම් කොච්චර හොඳද කියලා. මේ කතාව මම කියන කතාවක් නෙමේ. මට මේක හුඟක් කිට්ටු හිතවතෙක්  කීව කතාවක්. 

          ජිවිතේ හැමදාම සතුට තියෙන්නේ නැනේ. ඉතින් දුකක් හිතුනාම තමා හිතන්නේ අන්න අතිතය වෙනස් කර ගන්න ඕනේ කියලා. ඒත් අපි ඒ වෙනස් කරන්න හිතන සිද්ධිය එක්ක තව සිද්ධි කියක් වෙනස් වෙවි කියලා හිතල තියෙනවද. එහෙම හිතලා තත්පර දෙක තුනක වෙනසින් වෙන සිදුවිම් අලලලා හදපු ලස්සන ච්ත්‍ර පටියක් තිබ්බා. මීට අවුරුද්දකට වගේ ඉහත අපි කට්ටියක් බැලුවා මතකයි. ඒත් නම මතක් කර ගන්න බැ. එහෙම මතක් උනොතින් කියන්නම්කෝ. 
 
         කොහොමහරි මටත් තිබ්බා කාළයක් සැහෙන්න අතිතය වෙනස් කරන්න හිතපු. එක දවසක් නෙමේ දවස් කිපයක්ම මට කිව එක දෙයක් අදටත් ඒක එහෙම නොවි මෙහෙම උනානම් හොඳයි කියලා හිතන්න යද්දිම මතක් වෙනවා.
 ජිවිතේ එක සිද්ධියක් සිද්ධි වැලක් එක්ක එතිලා තියෙන්නේ. සම්පූර්නයෙන්ම තනිව වෙන සිදුවිමක් නම් අපිට ඒක වෙන උනාම ආ හරි  මේක වෙන්නේ නැ කියලා හිතන්න පුලුවනි. නමුත් එහෙම බැදිලා තියන සිදිවිම් හුඟක එකක් වෙනස් කලාට කවමදාකවත් අවසාන ප්‍රතිපලය අද තියෙන දෙයට වඩා හොඳ වෙවි කියලා හිතන්න අමාරුයි. ඒ නිසා සිදුවිම කවරක් වුවත් ඒකෙන් ඇති වුන අතුරු ඵලයට වන හානිය අද අවම කර ගන්න උත්සහ කිරිමක් විතරමයි කරන්න පුලුවන්. 
ටිකක් වෙලා ඇයි මෙහෙම උනේ මේක මෙහෙම වෙන්න තිබ්බා නේද හිතාන යද්දි අර කීව කතාව මතක් වෙලා ආයෙම හිතෙනව නැ මේක තමා හොඳම විදිහ වෙන්න තිබුන කියලා. ඒ කතාව මගේ ජිවිතේ සතුටින් තියන්න සැහෙන්න ඉවහල් වුන කතාවක්. ඒත් ඕක ඔවු එහෙමයි කියලා මං පිළිගන්න නම් සැහෙන්න කාළයක් ගියා. ඒ කතාව ඒත්තු ගන්නපු කෙනාට මං හදවතින්ම ස්තුති වන්ත වෙනවා....
සුන්දර හො අසුන්දර අතිතය මතක් කරන් අනගතය හරි වර්තමානය හරි සතුටින් තිය ගන්න පුළුවනිනම් ඒක කමක් නෑ. ඒත් අතිතය වෙනස් නොවිම ගැන දුක හිතන්න එපා.


Monday, 10 October 2011

"වහින් වැහි වළා...... "

හීන් පොඳෙ මද වැස්සෙ,
යන්න දැවටිලා...
සිසිල අරන් සිත් අරණට,
එන්න ලං වෙලා...

පියුම් විලෙ තුරු ගොමුවෙ,
බලන් නැගිටලා...
සිත් කුල්මත් කරමින්,
වැහි පොදක් වැටෙනවා...

ගී ගයනා කුරුල්ලනේ,
අසන් ලංවෙලා....
රගමුද අපි මද වැස්සේ,
තෙත් බරිත වෙලා...

අකලට වැටි දිය දහරක්,
නොවි සැගවිලා....
හෙටත් උදේ වසන්තයෙ,
වහින් වැහි වළා....