Monday, 25 July 2011

ආදරණිය මිනිසුන්........

ජිවිතේ අපි ළඟින්ම ඉන්න අයගේ උනත් අගය තෙරෙන්නේ ටිකක් දුරස් උනාමනේ. අම්මා කොච්චර රහට කෑම උයනවාද කියලා තෙරෙන්නේ කඩෙන් කන්න උනාම් හරි අපිම උයාන කන්න පටන් ගත්තු දවසටනේ. පාළුව තනිකම හිතට දැනෙනකොට ගෙදර දුවගෙන එන්න තිබ්බානම් කියලා හිතෙන වාර අනන්තයි. මේක ගෙදරින් ඈත් වෙලා දුරු රටවල ඉන්න අයටනම් හොදටම දැනෙනවා ඇති. ඒ වගේ වෙලාවකට හිනෙන් වත් අම්මා ළඟට අවානම් කියලා හිතෙනවා නෙද. එහෙම වෙලාවක ලීව කවියක් තමා මේ....

 

නැලවෙන ගොයම මෙන් ලාලිත වේය සිත...
ඇසෙනා විටක නුඹ වදනා සවන් මත...
නැගෙනා සඳ කැල්ම මෙන් සුමුදුය උණුහුම්ය..
නුඹ ලයෙ දැනෙන සෙනහස් උණුසුම් ගගුල...

එඩිතර වේය හිත දහසක් අකුල් මැද...
නලළත සිබින ආදර පැතුමන් අතර...
සිහිවේ නිතර සිහිවේ මට නුඹ තුරුල...
අම්මේ එනවාද සිහිනෙන් වත් ලගට අද...



ඒ වාගෙම තමා පියවරු වැඩිය අපිට ආදරය පෙන්වන්නේ නැහැනේ. ඒත් ඒ ආදරය දැනෙනවා. හුඟක් දැනෙනවා ජිවිතේ කොහේ හරි තැනක පාර වැරදුනොතින් එහෙම. මොකද එදාට ආයෙම අපිට වාරුව වෙන්නේ ඒ දැඩි හිතම වෙන නිසා. එහෙම උනාම පාරමි පුරන්න හිතෙනවා ආයෙම මතු සසරක එක්ව බැදෙන්නට....

නෙතු මත කඳුලැලි පොකුරු පියුම් දැක,
සිත මත දහසක් සිතුම් හුවා ගෙන..
කාටත් නොකියා තනියම වැලපෙන..
පියෙකුගේ සෙනෙහස මහමෙර තරමට...

සිතම සොරා ලොව එබිකම් කල දා,
නුඹට සොරා මා පාරමි පිරුදා..
ලොවම එරහිවී පා එස වු දා..
රැකවරණයි නුඹ ලය මට සැමදා...

මලක් පුදා බුදු සෙවනක් අභියස,
වරම් පතා යදිනෙමි සහසක් වර
සෙනෙහෙ ලබා මතු හැම අත්භවයෙම..
දියණිය වන්නට නුඹ උණුහුම ලද..





ඒ වාගෙම තමා කොකටත් කියලා රණ්ඩු වෙන්න උනත් එක කුස උපන් සහොදරියකට ඉන්නේ එක්කෙනයි. පොඩි එකා හින්දා පුංචි අවවාදයක් කියන්න හිතුනා.( මට සහොදර සහොදරියො හුඟක් ඉන්නවා. සමහර අය ලේ නෑයො. සමහර අය මේ ආපු ගමන් මග තුල හමුවු අය. දවසක එයාල ගැනත් සටහනක් තියන්නම්.)

නුඹ දකින සොඳුරු ලොව,
සිහින මල් කිණිති මත,
මල් පිපි සුවඳ වි,
දිලෙවා සැම දිනක.......

ලොව රුදුරුයි- දිය ගැඹුරුයි,
සැඩ රළුමය -නුඹ ලබැදිය,
සිත දිරිව ලොව දිනා,
ගනු මැනවි මා නැගණි....




මේ ජිවන ගමන බොහො දුරයි. පවුලක් විදිහට ලේ නෑ කමකින් බැදුනාව අමතරව, තව අතර මග බොහො අය හමු වෙනවා. සමහර අය මතකය අතරින් ඇතටම යනවා. සමහර අය ජිවිතේ සදා දුක සැප බෙදා ගන්න ලඟින්ම ඉන්නවා. මේ මට ඒ ඉතුරු මග ගෙවා යන්න හමුවු ඒ සොදුරු මිනිසා...

සඳක්මය පායනා.... කිරණ දී නහවනා.....
ඉරක්මය නැග එනා...... එළිය දී සනහනා....
මලක්මය පුදිනා .....සුවඳ දී සතපනා...
දොළක්මය බැසයනා..... සිසිල දී දැවටෙනා....

විදාහල දෑතගින්.. තුරුලු කර ජිවිතෙන්....
උණුසුම්වු දෙතොලගින්... තබා සෙනෙහස් කැළුම්....
අහිංසක නෙතු අගින්.. සලා ආදර හැගුම්...
සදා ළග හිදිනු මැන... නුඹයි ජීවය මගේ...









No comments:

Post a Comment