Monday, 25 July 2011

ආදරණිය මිනිසුන්........

ජිවිතේ අපි ළඟින්ම ඉන්න අයගේ උනත් අගය තෙරෙන්නේ ටිකක් දුරස් උනාමනේ. අම්මා කොච්චර රහට කෑම උයනවාද කියලා තෙරෙන්නේ කඩෙන් කන්න උනාම් හරි අපිම උයාන කන්න පටන් ගත්තු දවසටනේ. පාළුව තනිකම හිතට දැනෙනකොට ගෙදර දුවගෙන එන්න තිබ්බානම් කියලා හිතෙන වාර අනන්තයි. මේක ගෙදරින් ඈත් වෙලා දුරු රටවල ඉන්න අයටනම් හොදටම දැනෙනවා ඇති. ඒ වගේ වෙලාවකට හිනෙන් වත් අම්මා ළඟට අවානම් කියලා හිතෙනවා නෙද. එහෙම වෙලාවක ලීව කවියක් තමා මේ....

 

නැලවෙන ගොයම මෙන් ලාලිත වේය සිත...
ඇසෙනා විටක නුඹ වදනා සවන් මත...
නැගෙනා සඳ කැල්ම මෙන් සුමුදුය උණුහුම්ය..
නුඹ ලයෙ දැනෙන සෙනහස් උණුසුම් ගගුල...

එඩිතර වේය හිත දහසක් අකුල් මැද...
නලළත සිබින ආදර පැතුමන් අතර...
සිහිවේ නිතර සිහිවේ මට නුඹ තුරුල...
අම්මේ එනවාද සිහිනෙන් වත් ලගට අද...



ඒ වාගෙම තමා පියවරු වැඩිය අපිට ආදරය පෙන්වන්නේ නැහැනේ. ඒත් ඒ ආදරය දැනෙනවා. හුඟක් දැනෙනවා ජිවිතේ කොහේ හරි තැනක පාර වැරදුනොතින් එහෙම. මොකද එදාට ආයෙම අපිට වාරුව වෙන්නේ ඒ දැඩි හිතම වෙන නිසා. එහෙම උනාම පාරමි පුරන්න හිතෙනවා ආයෙම මතු සසරක එක්ව බැදෙන්නට....

නෙතු මත කඳුලැලි පොකුරු පියුම් දැක,
සිත මත දහසක් සිතුම් හුවා ගෙන..
කාටත් නොකියා තනියම වැලපෙන..
පියෙකුගේ සෙනෙහස මහමෙර තරමට...

සිතම සොරා ලොව එබිකම් කල දා,
නුඹට සොරා මා පාරමි පිරුදා..
ලොවම එරහිවී පා එස වු දා..
රැකවරණයි නුඹ ලය මට සැමදා...

මලක් පුදා බුදු සෙවනක් අභියස,
වරම් පතා යදිනෙමි සහසක් වර
සෙනෙහෙ ලබා මතු හැම අත්භවයෙම..
දියණිය වන්නට නුඹ උණුහුම ලද..





ඒ වාගෙම තමා කොකටත් කියලා රණ්ඩු වෙන්න උනත් එක කුස උපන් සහොදරියකට ඉන්නේ එක්කෙනයි. පොඩි එකා හින්දා පුංචි අවවාදයක් කියන්න හිතුනා.( මට සහොදර සහොදරියො හුඟක් ඉන්නවා. සමහර අය ලේ නෑයො. සමහර අය මේ ආපු ගමන් මග තුල හමුවු අය. දවසක එයාල ගැනත් සටහනක් තියන්නම්.)

නුඹ දකින සොඳුරු ලොව,
සිහින මල් කිණිති මත,
මල් පිපි සුවඳ වි,
දිලෙවා සැම දිනක.......

ලොව රුදුරුයි- දිය ගැඹුරුයි,
සැඩ රළුමය -නුඹ ලබැදිය,
සිත දිරිව ලොව දිනා,
ගනු මැනවි මා නැගණි....




මේ ජිවන ගමන බොහො දුරයි. පවුලක් විදිහට ලේ නෑ කමකින් බැදුනාව අමතරව, තව අතර මග බොහො අය හමු වෙනවා. සමහර අය මතකය අතරින් ඇතටම යනවා. සමහර අය ජිවිතේ සදා දුක සැප බෙදා ගන්න ලඟින්ම ඉන්නවා. මේ මට ඒ ඉතුරු මග ගෙවා යන්න හමුවු ඒ සොදුරු මිනිසා...

සඳක්මය පායනා.... කිරණ දී නහවනා.....
ඉරක්මය නැග එනා...... එළිය දී සනහනා....
මලක්මය පුදිනා .....සුවඳ දී සතපනා...
දොළක්මය බැසයනා..... සිසිල දී දැවටෙනා....

විදාහල දෑතගින්.. තුරුලු කර ජිවිතෙන්....
උණුසුම්වු දෙතොලගින්... තබා සෙනෙහස් කැළුම්....
අහිංසක නෙතු අගින්.. සලා ආදර හැගුම්...
සදා ළග හිදිනු මැන... නුඹයි ජීවය මගේ...









Sunday, 24 July 2011

"න........"

 මේක මම කළකට ඉහත මුහුණු පොතේ සටහන් කළ නිර්මාණයක්.

 නිමක් නැති සුසුම් මත..
 නිහඬවම ඉකි බිදින..
 නෙතු අතර සැගව යන..
 නිනව් නැති පැතුම් පොදි...

 නගා රළ පෙල බිදෙන..
 නිසල නැති සයුරු කොන..
 නිදන් කොට ගොම්මනෙ..
 නික්ම යමි සෝ දුකින්..

 නිශා ඉම කලබවා..
 නොම මවන් අශා පොදි.
 නිවන් මග සොයා මම ...
 නගමි පිය නිසසලව...

 ඒ කාළේ ටිකක් වැඩ වැඩියි. ඒ නිසා වැඩ කරන්නම කම්මැලියි. බොහොම සාමන්‍ය දෙයක්නේ.. ඉතින් මේ කවිය දැකපු සුමුදු මෙහෙම සටහනක් දැම්මා.

 නන්දනීයයි පබැඳුම...

  නමුදු සොයුරිය
  නිබන්ධනයෙහි වැඩ
  නිමකළ යුතු නොවෙද
  නොපමාවම...?

කවියකින් ප්‍රතිචාර දැකුවම එක හරි සුන්දරයිනෙ...ඒ සටහනත් "න" යන්නෙන්ම සටහන් වුන නිසා මේ විදිහට පිළිතුරක් තියලා මාත් ආයෙම වැඩේ පටන් ගත්තා.  

  නිසංසලේ හිදිනු බැරිව....
  නිෂ්පලවු සිතුවිලි ගෙන...
  නිනව් නොමැති අතිතයට..
  නිරන්තරේ අදෙනා හිත....
 
  නිසොල් කරනු බැරිවු සද..

  නිකමට මෙන් මේ පදවැල...
  නිමකර සිත යලි එක්කර..
  නිබන්දනේ වෙත ඇදුනා..

මේක මගෙ සුන්දර මතකයක්..... ඒ නිසා සටහන නැවත් මෙතන තියන්න හිතුනා.

Friday, 22 July 2011

සදා මිතුර...මා තනිකම...


  තනි තරුවේ තනි අහසේ
          තනිකම දැනෙනවා නේද...
   තනියට මගෙ ළඟින් ඉන්න,
           අනේ ඇවිත් යන්න බැරිද...

   කියා ගන්න දහසක් ඇත,
          ළඟ ඉඳගෙන අහං ඉන්න...
   මගෙ සුසුම් අරගෙන ගොස්,
          හිස් අහසට දමා එන්න...

  පැතුම් සිහින දහසක් ඇත,
         බොඳවන සිතුවමක් විලස...
   බයයිනේ මට නිදා ගන්න,
         සිහිනය එළි නොවන නිසා...

  කියා ගන්න කෙනෙකුදු නැති,
        එනමුදු දහසක් ලොව ඇති...
   අරුමෙකි තනිකම නුඹ නම්,
        සදා නොයන මිදි මගෙන්.....

Saturday, 16 July 2011

පුංචි සිතුවිල්ලක්...

ආදරය කරන්න..
     හිත පුරාම
ආදරය ලබන්න..
     ඒත් සිඟන්න එපා

උදව් කරන්න..

    හැකි තරම්..
උපකාර ලබන්න..
    ඒත් බලපොරොත්තු වෙන් එපා

අනුකම්පා කරන්න..

    සෑම අසරණයෙකුටම
අනුකම්පා ලබන්න..
    ඒත් අසරණ වෙන්න එපා

හිනා වෙන්න..

     මුව පුරා නැගුන සතුටින්
හිනස්සන්න..
    ඒත් නුඹට හින වෙන්න දෙන්න එපා

හඩන්න..

    දුක නිවෙන තුරු..
හඩන්නට ඉඩ දෙන්න...
   ඒත් නුඹ හඩවන් එපා

ජිවත් වෙන්න..

   සැමට සවියක් වෙලා
ජිවිතේ දෙන්න..
   ඒත් ආත්මය දෙන්න එපා

Thursday, 7 July 2011

පසුතැවිල්ල...

විශ්වාස නොකළද,
අවිශ්වාස කිරිමට අකමැති වු නිසා...
ලොවට ඇහෙන්නට හඬපා,
නුඹේ ගුණ කී මට...

නුඹ සුන්කළ පැතුම් මත,
යළි අහම්බෙන් පීදි මල...
දුක දරයි හිත පුරා,
වැදි සුන්බුන් අතිතේ.....

විශ්වාස කළද,
ප්‍රත්‍යක්ෂ කරගනු නොහැකිව,
හඬමි මම ඉකිගසා,
ඔහු විදින දුක බලා...

නුඹෙ කටුක මතක ඉම,
කවදා වුන් වලලන්නේ...
අනේ මට හිනහෙන්න,
කවදාද හැකිවෙන්නේ..

Monday, 4 July 2011

යමු අපි දෙන්නා එක සිත නිති සවිය කරන්....

මල් පිබිදිලා පර වෙනවා ලොව නිබඳ,
හිරු හිනහෙලා බැස යනවා සවස් කල,
දුක සැප එනවා නිතරම ලොව ඒ වගෙම,
සිත් බැඳි සෙනෙහෙ පවති එනමුදු නිබඳ...

ආ මග සුවඳ නැත යන මග රුදුරුමය,
එනමුදු සතුට නැත නිම් නුඹ මා ළඟය,
දුක නම් පුරුදුමය හිත උහුලනු හැකිය,
සෙනෙහස නුඹේ අත්වැලමය සදාකල...

හඬවාලන්න සුවහස් දෙන ඇති සන්දා,
වෙන්වනතුරුම පෙරුමන් පුරනා සන්දා,
ලොවට මුවාවි මංපෙත එකලු කරන්,
යමු අපි දෙන්නා එක සිත නිති සවිය කරන්....

(නො)දනිමි...

Sunday, 3 July 2011

සත්‍යවාදියො.....

මේ කතාව මං මෙහෙම කියන්නම්. අපේ අම්මනම් ටිකක් විතර පොයට පන්සල් යන කෙනෙක්. අප්පච්චි ආගමට ලැදි නෑ කියන්න බෑ. ඒත් දැන් කාළේ ඉන්න හාමුදුරුවරුන්ගේ යම් යම් ක්‍රියා කලාපත් එක්ක ලොකු ඝට්ටන ඇති කර ගන්න එක වෙන නිසා ගමේ පන්සලට නොයාම ඉන්න එක හොඳයි කියලා තමා ඉතින් කියන්නේ. මට පේන විදිහටත් වරදක් නෑ ඒක. මොකද අදට අපෙ ගමේ මිනිස්සු මේ පන්සලට යන්න හෙතුව වෙල තියෙන්නේ තමන්ගේ පාංසකූලයට එන්නේ නෑ කියලා හාමුදුරුවෝ කියන නිසා කියල කිප දෙනෙකුගෙ කතාවෙන් මට තේරුනා. අද කාළේ හාමුදුරුවරු මොන තරම් සැප විදින්න පුරුදු වෙලාද කියලා කියනවානම් කරඬුව වඩම්මගෙන දානෙකට හෙවිසි ගහ ගහ මේ අඩි 10ක් තියන ගෙදරට එන්නත් රෝද තුනක් ගෙන්න ගන්න පුරුදු වෙලනේ...මේ ඉතින් අපෙ කාළේ හාමුදුරුවෝ පිරිසක්.. ඒ වගෙම තමා ඉතින් හුඟක් දැහැමිව ජිවත් වෙන ස්වාමින් වහන්සෙලාත් ඉන්නවා. ඒ අය ප්‍රසිද්ධ අඩුයි. ඒ නිසා බණ වලට ආරාධනා එහෙමත් ටිකක් අඩුයි. හැබැයි ඒ ස්වාමින් වහන්සේලා සල්ලි ගන්නෙ නෑ බණ කියන්න.........

ඒ වගෙම තමා අපේ උපාසක අම්මලාත් බහුතරය. මේ කතාව අප්පච්චි මීට අවුරුදු 2කට විතර උඩදි හිනා වෙවි කිව දෙයක්. අපි ඒ කාළේ පදිංචි වෙලා හිටිය හරියේ රෑට ඉත්තෑයො අවිත් විනාස කරලා යනවා. ඉතින් උදේ අප්පච්චි වැටෙන් ඉත්තෑයො රිංගපු තැනක් වහන කොට, එදා පෝය දවසක් නිසා උපාසක අම්මා කෙනෙක් සිල් ගන්න යන ගමනින් අහුවලු මොකො පුතෙ කියලා, ඉතින් අප්පච්චි කාරණාව කිවාම, රෑට මද්දක් ගහපන් පුතෙ ඕකා අල්ල ගන්න කියාන ගියාලු. ඔන්න ඕක තමා ඉතින් හුඟක් අය කරන්නේ..

අද සමාජයේ බොහෝ දෙනා සුදු පිරුවට දාගත්තාම තමන්ගේ හිතේ තියන කළු පැල්ලම් පේන්නේ නැහැයි කියලා හිතන්නේ. ඒ නිසා තමා හැම තැනම පංසල් විවෘත කරලා, අපෙ සමහර අය මිනිමරන්නේ. කොටවන්න කේළම් කියන්නේ, මත් කුඩු ජාවාරම කරන්නේ... මේක ලියන මං කිසිම වරදක් නොකරන කෙනෙක් නෙමෙයි. ඒත් මට එදත් අදත් හෙටටත් බොහොම ආගමික ලැඳියාවන් පෙන්නන අය ගැන විශ්වාසයක්  නෑ.......


ප.ලි. : හොඳ අයගෙ හිත රිදුනානම් සමාවෙන්න. ධර්මය කතා කරන ධර්මයේ හැසිරෙන්නෝ හමුවෙලා නැතිවම නෙමෙයි. ඒත් බහුතරය කරන්නේ බොරුවක් කියලයි මට හිතෙන්නේ.......