Thursday, 22 December 2011

Your princess is going to be a queen


 Don’t ever think to say good bye to your daughter.....

 She has come this long with your love and guidance....
 She has followed wrong paths, and made wrong decisions 
 The way you sort it out all those is unbelievable............

 Be happy and say welcome to your new son....
 He is sort of a man who gone care and love your daughter...
 He will be the best ever son you can ever have in your life....
 He is amazing; else he won’t come across this long with her...

 The most awaited day on your life is coming dad….
 The day you dream even in the day time is coming mom...
 This is the happiest day you gone pray with tears…
 This is the day your princess gone be a queen…..



Thursday, 15 December 2011

මෙහෙමත් ගෑස්....

ඔන්න එකෝමත් එක රටක  සරසවියක් තිබ්බා. මේකෙ තියෙනවා දෙපාර්තමේන්තු හුඟක්. ඒ වගේම තව තියෙනවා පරිපාලනය කරන දෙපාර්තමේන්තුවක්. ඉතින් සරසවියක්නේ, ළමයි උපාධිය කරල ඉවර උනාම අදාළ සහතික පත්‍ර එහෙම ගන්න එනවා. සමහර පිට රට සරසවි වලින් ඉල්ලනවානේ ඕවා ඉක්මනින්. ඉතින්, මෙතන වැඩ ගොඩක් තියෙන නිසා, ඉක්මනින් ගන්න නම් එකකට 750 වගේ ගානකුයි, දවස් 4 න් ගන්න නම් 250 වගෙයි ගන්නවා. ඔහොම කීපයක්ම තියෙනවා ඉතින්, ඕනේ විදිහකට ගන්න කියලා. මගේ යාළුවෙකුටත් ඕනේ වෙලා ඔන්න එයත් දාලා තිබ්බා 750ක් ගෙවල දවස් දෙකකින් ගන්න. සඳුදා තමා දාලා තිබ්බේ. ඉතින් බදාදා දෙන්න එපැයි. මං ගියාම තාම මේසේ උඩ.

ඔන්න ඒ පාර කීවා, අදාළ නිලධාරියා නිවාඩු කියලා. අකමැති වුනත් අන්තිමට මං අහවලායි කියලා හෙටම ඕනෙයි කීවා(රස්සාව ඉස්සරහට දාලා වැඩ කරගන්න වැඩිය මං කැමති නෑ. ඒත් ලංකාවේ ඒක බොහෝවිට කරන්න වෙන දෙයක්). ඔන්න ඉතින් අදත් ගියා ගන්න. ඒක ගන්න ඉද්දි තව කෙනෙක් ආවා 750ක් ගෙවලා සෑහෙන්න දවසක් රස්තියාදුවෙලා. අදත් නෑ. එතන දැන් ඒ ළමයට අදම දාන්න ඕනි. ඇයි දැනටමත් පරක්කුයි නේ. දැන් කොහොම හරි එතන මටත් කීවා පොඩ්ඩක් ඉන්න, මං ඊයේ එක දැම්මා, අහලා යන්න, ඒක තියෙන්න ඕනේ කියල. ඉතින් මාත් හිතුවේ අදාළ නිළධාරියා වැඩක, ඒ නිසා ඉන්න කීවා කියල. හා ඉතින් කියලා ඉන්නවා ඉන්නවා තාම නෑ, එයා දුරකථන සංවාදයක කියලා තමා කීවේ. ඒ නිස කරදර කරන්න බැහැයි කීවා.

ඔන්න ඊට පස්සේ ඇවිත් කීවා දැන්නම් ඉවරයි සංවාදය, කතා කරන්න කියලා. මං ඉතින් අර කෙන්තියෙන් හිටපු ළමයාට යන්න ඇරලා පොඩ්ඩක් බලන් හිටියා. හපොයි.. මේ ඉන්න කියලා තියෙන්නේ පරිඝනක ක්‍රියාකරවන්නිය හම්බෙන්නනේ. මට ඉතින් කෙන්තියි. මං හිතුවේ ඕකේ අනිතිමට අත්සන් කරන කෙනාව හම්බෙන්න ඉන්න කිවා කියලා. කොහොමින් හරි ඉතින්, අර ළමයා බැන්නා සෑහෙන්න. ඊට පස්සේ මෙන්න මේ, පරිඝනක ක්‍රියාකරවන්නිය කෑ ගහන්න ගත්තේ නැද්ද, වයස අවුරුදු 25-30ක් වගේ ඇති. කට නම් අවුරුදු 50-60ක සැරක් තිබ්බේ. ඒ ළමයාට කෑ ගහන්න අයිතියක් නෑ කියල තමා මෙයා කෑ ගහන්නේ. 

මට තේරුන කාරණා කීපයක් තියෙනවා.
  • මෙතන ඉන්න අනික් අය බයයි මෙයාට, ඒ නිසයි මටම හම්බෙන්න කීවේ. මට තෙරෙන්නේ නැත්තේ ඒ වගේ බලයක් මෙයාට කොහොමද ලැබුණේ කියලා. රැකියාව බාල්දු කරනවා නෙමේ. ඒත් ඉතින් බල්ලාගේ  වැඩේ බූරුවා කරන්න ඕනේ නෑනේ.
  • අනික තමන්ගේ රාජකාරිය නොකර කෑ ගහන එක. ඒක අන්තිම වැරදියි. ඕක ගන්න එන හැමෝම කොහෙ හරි රැකියාවක් කරන ගමන් එන්නේ. නිවාඩු දාලා, ඒ වගේ. එහෙම රස්තියාදු වෙන්න අවශ්‍ය නෑනේ. අනික වැඩිපුර ගෙවීමක් කරනවානේ. ඉතින් සේවාව හරියට තියෙන්න එපැයි. අපිත් ශිෂ්‍යයො විදිහට ගිහින් සෑහෙන්න ඔතනින් රස්තියාදු වෙලා තියෙනවා.
  • ළමයින්ට ප්‍රතිථල ලේඛනයක් කියන්නේ හරි වටින - හදිස්සි වෙන දෙයක්. ඒක නොලැබුනාම සමහරවිට එයාගේ මුලු ජිවිතේම වෙනස් වෙන්න පුලුවනි. ඉගෙනීමේ වටිනාකම නොදන්න අයගෙන් ඒකේ වටිනාම සහතිකය ලබා ගන්න උනාම වෙන්නේ  ඕක තමා.
  • අනික් කාරණාව විනාඩි 20ක් විතර ආව දුරකතන ඇමතුම රාජකාරි කියලා හිතන්න අමාරුයි. අපිත් අපේ වැඩ කර ගන්නවා. ඒත් ඒකට විදිහක් තියෙනවා මං හිතන්නේ.
  • අනික් දේ, තමන් රැකියාවෙන් කුමක් කළත් කමක් නෑ. ගනන් උස්සලා, අනුන්ගේ අනාගත එක්ක සෙල්ලම් කරාම පව් පිරෙනවා මිසක් තමන් මහා ලොකු චරිතයක් වෙන්නේ නෑ එතන. ඊට වඩා සේවය හරියට කළොත්, වෙන තැනකදි ඕනේ වෙන උදව්වක් ආපස්සටත් ලැබෙයිනේ.
  • අනික ඔහොම දින 2කින් දෙන්න බැරිනම් ඒක අයින් කරලා අනවශ්‍ය ගෙවිම් අයින් කරලා දාන්න. ඕක එහෙම දෙන්න බැරි නෑ. සිසු අංකය හොයලා ඒකේ අදාලා ඒවා මුද්‍රණය කළා නම් ඉවරයි.
කොහොමින් කොහොමින් හරි මගේ වැඩේ නම් කරලා, ඒත් හොයා ගන්න අමාරු උනා. අන්තිමට අවුස්සල අවුස්සල මං හොයාන ආවා. ඒත් මං ඉතින් කියාගෙනම ආවා, අර තියෙන්නේ කතාවක්, ලොක්කට වඩා සැර ලොක්කාගේ මොකාද කියලා. ඊට සමාන දෙයක් තමා ඉතින් කීවේ. ඕක මේ අද ඊයේ ප්‍රශ්නයක් නම් නෙමේ. ඒකෙන් වෙලා තියෙන්නේ ඔය සේවය කරන කිසිම කෙනෙක්ට අන්තිමට ගෞරවය නැතිවීම විතරයි.



අනික කියන්නම ඕන කාරණය, ඒක නිසා තමා මේක ලියන්නේත්, සමහර ස්ථාන වලින් කියනවා සීල් තියපු එකක් එවන්න කියලා. ඉතින් මෙයාල ලියුම් කවර එහෙම දීලා යනවා යවන්න කියලා. ඒත් තමන්ම ඒක සීල් තියලා අරං දාන එක තමා හොඳ. මොකද එතන හිටියා දිපු අයදුම් පතත් නැතිවෙලා හොයන අය. තමන්ගේ ජිවිතේ වැදගත් දේවල් වලදි අනික් අය වැඩියෙන්ම විශ්වාස කරන්න එපා. මොකද ඒක එයාලට වැදගත් නැහැනේ. 

මේක මේ රටේ හැම සරසවියකම, හැම රාජ්‍යය ආයතනයකම වගේ තියන පොදු ලක්ෂණයක්. හිටපු ගමන් ඉතින් ආශ්චර්යයන් වෙලා හොඳ ඒවත් තියෙනවා.   ඉතුරු ටිකටත් ඔය ආශ්චර්යයම වෙනකල් බලා ඉන්න තමා ඉතින් වෙන්නේ අපිට.


Tuesday, 13 December 2011

කොයින්ද නුඹට...??

 
වේදිකාවක රඟන නළුවෙකුට තරම්,                    
කොයින්ද සතුටක් නරඹන ඔබට...                       
සිසු පුටුවක දැනෙන නිදහස තරම්,                       
කොයින්ද වින්දනයක් ගුරු පුටුවක...                   


දරුවෙකුගේ සුරතල් බසක් විදිනු මිස,                 
මවකට කොයින්ද ඉඩක් වෙන්න සුරතල්...         
ඔහේ ගලනා ජිවිතය තරම් කොයින්ද  ජිවිතයක්,
නම්බුකාර සල්ලිකාර මිනිසුනේ නුඹට...  
 

Sunday, 27 November 2011

ඇය මියයන්නේය.....

මිනිසුන් පරිසරය වෙනස් කරන වේගය,
දරා ගත නොහැකි වු කළ,
පරිසරය මිනිසාගේ පැවැත්ම වෙනස් කළේ,
ඒත්තු ගන්වනු වස්ය, වේගයේ අවදානම...
නමුදු.....??
නොනිම් ගමනක යන අපට 
නොවේ නම් නවතින්නට නිනව්වක්,
දුක හිදෙන තුරු හඬන්නට,
කුසගින්නෙම වේළෙන්නට,
තිරණය කළ ඈ...
අවසන ලය පැලි මිය ගියාය......
ඒ කඳුලට, කුසගින්නට, රුධිරයට,
යට වුවොද අපිමය අවසානයෙදි........

Wednesday, 16 November 2011

අම්මාගේ ආ(ලෝකේ)....

අකිකරු දැල්ලක්ව,
විටින් විට එළිය දුන්,
ගෙදර තිබු කුප්පි ලාම්පුව,
සොරු අරං ගියා නොව...

ඉනික්බිති...,


ගෙදර තිබු මිණි පහණ,

නැති උනයි සෝ දුකින්,
වැළපෙනවා හැමදාම,
අම්මා එළියක් සොයා....

කළක් ගත වු කළි,

දැල්වෙමින් බැබළෙනා,
මිණි පහණකුත් අරං,
අයියා ගෙට ගොඩ උනා...

ටික දොහක් ගිය කල්හි...,


හෑම විටම බැබළුනත්,

නිවෙන්නට වෙර දරන,
ඉටි පහන වගෙ යැයි,
අම්මගෙන් අවලාද...

Friday, 11 November 2011

(නො)මිනිසුනේ කොයියාද....???

 නොපවතින ලෝකයේ,
පැවැත්මක් සොයාගෙන..
අහිමිවී  යන ගමනේ,
හිමිකම්ද කියාගෙන...
බදන්නට බැරිවු කළ,
වෙරදරා බෙදාගෙන...
සුවයක්ය කියාගෙන,
දුක් ගොඩක් බදාගෙන...
මිනිස්බව ලබා ගත්,
නොමිනිසුනේ කොයියාද...??

Monday, 24 October 2011

ගිලී නොගිය මගේ මතකය......

         පහුගිය දවස් ටිකෙම එකම එක බලාපොරොත්තුවක් පුරොගෙන එකම එක පැතුමක් හිත තියාන කොච්චර හිටියත් අවසානයේ ඒකත් තවත් සුන් වුන පැතුම් ගොන්නටම එකතු උනා.   මුලු තායිලන්තයම යට වෙද්දිත් අපි බලාන උන්නේ අපි අවුරුදු 2ක් ඉගන ගත්තු AIT එකට එක වතුර බින්ඳුවකින් වත් කරදරයක් නොවෙන්න කියන ප්‍රාර්ථනාවකින්. ඒ අපි ඒ තරම් ඒ බිමට ආදරය කළා. මේ භයානක වැස්ස තායිලන්තයෙන් ඉවත් වෙන්න කියලා දහස් වරක් කිවේ අපිට බොහොදේ කිය දුන් බොහො මතකයන් එකතු කල ඒ සුන්දර පරිසරය බොඳ වෙලා යනවා බලාන ඉන්න බැරි නිසා. එකට උයාන පිහාන එක බත් එක බෙදාන කාපු අපේම තවත් පිරිසක් දුක් විදි කියන භය හිත ඇතුලේ තිබුන අනෙක් කාරණාව.

         මා දුටු තායිලන්තය කියලා මුලු රට ගැනම විස්තරයක් ලිවේ ඇත්තෙන්ම ඒ රටෙන් අපිට උගත හැකි බොහොදේ තියෙන නිසා. වෙන රටක ඉගෙන ගෙන ඇවිත් ඒ රටට ආ වඩන්න නෙමේ. මා දුටු පරිසර වලින් පේරාදෙනියට විතරක් දෙවනි වෙන ආසියානු තාක්ෂණ ආයතනය හැබවින්ම අපිට සුන්දරම සුන්දර මතක රැසක් එකතු කලා. කොතරම් හැල හැප්පිම් ගැටුම් තිබ්බාත් සහොදරත්වය උතුරා ගිය මව් රට සහ පිට රට පිරිස් සමුහයක් හමුවුන සුන්දර වාසස්ථානයක තමා එහෙ තිබ්බේ. රටින් පිටට අපේ කියලා කවුරුවත් නැහැයි කියාන හිතාන යන අපිට මේ බිමත් ඔයාලගේ, මෙහි සියලු සම්පත් අත් විදින්න කියලා සැම සැප පහසු කමක් සහිත බිමක්ද, ඒ වාගෙම දහසක් ක්‍රියාකාරකම්ද එකතු කලේ අපුරුම අත්දැකිමක්.....

           අපි බහුතරය එතන හිටියේ ලංකාවේ නිදහස් අධ්‍යාපනය උපරිමෙන් භුක්ති විද ශිෂ්‍යත්ව ලබා ගෙන පශ්චාත් උපධි සඳහා ගිය අය. ඒ නිසාද කියන්න දන්නේ නෑ ඒ  බිමටද, එහි යන්න මග පෑදු ලංකාවේ අධ්‍යාපන පද්ධතිය තරමින්ම අප ආදරය කරන්නේ. අද වෙනකොට එහි සිටි සියලුම සිසුන් තම ගම් රටවල් බලා පිටත් වෙන්න පටන් අරං. මීටර 2.5 උඩට වතුර ගලලා මුලු සරසවියම අද වෙනකොට ගිලිලා. ඒත් ජිවිතේ බොහො දෑ සටහන් කළ ඒ සුන්දර මතකය ගිල ගන්න බැරි අපි හැමොම ආයෙම හැම දෙම තිබුන තැනට පත් වෙනකල් බලාන ඉන්නවා.


~~~~~~~~~~~~~~*****************~~~~~~~~~~~~~~~~******************~~~~~~~~~~~~~~


හුදකලාව තුරුලු කරන් හිත් මානේ,
තනිවම ආවේ නුඹ තුරුලට පෙර දිනයේ,
සෙනෙහස උතුරලා නුඹ පිළිගත් මොහොතේ,
පින් කළ බවකි හැඟුනේ අප හිත් පත්ලේ......
 
පැදුරු පාටි, අවුරුදු උත්සව අතරේ,
සැනසුම දැනුනේ සිටියද නිවසින් දුරක,
ඉපදුන දිනය අමතකවුවද නිතිනේ,
දොළහේ කනිසමට සුභ පැතුමන් එන්නේ........
 

තිස්පස් රටක ජනයා එක් උන අතරේ,
ක්‍රිඩා, රැගුම්, ගායන, උත්සව ඇත්තේ,
අඩුවක් නැතිව සතුටින් ඉන්නා අතරේ,
අඩුවක් නැතිව විභාගයත් ගොඩ ගැසුනේ......

සුන්දර දහක් දෙවල් මැවු සොඳුරු නුඹ, 
අද ගිලිලාය ආ ඒ රුදු ජල කදට, 
අපි සැම එක්ව නගනා පැතුමේ පිනට, 
සිටි සේ නැගිටියන් මවමින් සුරපුරය.....


 නුඹ යලි ඉපදෙනතුරු අපි සියල්ලොම බලා ඉන්නෙමු.......

Friday, 21 October 2011

අතිතයට රවුමක් යමුද.....??



          අතිතය ගැන මොකද හිතෙන්නේ. ආපහු ගිහින් එන්න එහෙම හිතෙන්නේ නැද්ද. මේක ලියන්න හෙතුව වුනේ, අපේ සරසවියේ මල්ලි කෙනෙකුගේ පුංචි කවි පද වැළැක් දැකලා. අතිතයට යන්න අතිතය වෙනස් කරන්න යන්න හිතිලා ලිව කවි පද පෙළක් එක. අපේ සමහර සිදුවීම් සමග අපි දවසට කී පාරක් නම් හිතනවද මේක මෙහෙම නොවි මෙහෙම කලානම් කොච්චර හොඳද කියලා. මේ කතාව මම කියන කතාවක් නෙමේ. මට මේක හුඟක් කිට්ටු හිතවතෙක්  කීව කතාවක්. 

          ජිවිතේ හැමදාම සතුට තියෙන්නේ නැනේ. ඉතින් දුකක් හිතුනාම තමා හිතන්නේ අන්න අතිතය වෙනස් කර ගන්න ඕනේ කියලා. ඒත් අපි ඒ වෙනස් කරන්න හිතන සිද්ධිය එක්ක තව සිද්ධි කියක් වෙනස් වෙවි කියලා හිතල තියෙනවද. එහෙම හිතලා තත්පර දෙක තුනක වෙනසින් වෙන සිදුවිම් අලලලා හදපු ලස්සන ච්ත්‍ර පටියක් තිබ්බා. මීට අවුරුද්දකට වගේ ඉහත අපි කට්ටියක් බැලුවා මතකයි. ඒත් නම මතක් කර ගන්න බැ. එහෙම මතක් උනොතින් කියන්නම්කෝ. 
 
         කොහොමහරි මටත් තිබ්බා කාළයක් සැහෙන්න අතිතය වෙනස් කරන්න හිතපු. එක දවසක් නෙමේ දවස් කිපයක්ම මට කිව එක දෙයක් අදටත් ඒක එහෙම නොවි මෙහෙම උනානම් හොඳයි කියලා හිතන්න යද්දිම මතක් වෙනවා.
 ජිවිතේ එක සිද්ධියක් සිද්ධි වැලක් එක්ක එතිලා තියෙන්නේ. සම්පූර්නයෙන්ම තනිව වෙන සිදුවිමක් නම් අපිට ඒක වෙන උනාම ආ හරි  මේක වෙන්නේ නැ කියලා හිතන්න පුලුවනි. නමුත් එහෙම බැදිලා තියන සිදිවිම් හුඟක එකක් වෙනස් කලාට කවමදාකවත් අවසාන ප්‍රතිපලය අද තියෙන දෙයට වඩා හොඳ වෙවි කියලා හිතන්න අමාරුයි. ඒ නිසා සිදුවිම කවරක් වුවත් ඒකෙන් ඇති වුන අතුරු ඵලයට වන හානිය අද අවම කර ගන්න උත්සහ කිරිමක් විතරමයි කරන්න පුලුවන්. 
ටිකක් වෙලා ඇයි මෙහෙම උනේ මේක මෙහෙම වෙන්න තිබ්බා නේද හිතාන යද්දි අර කීව කතාව මතක් වෙලා ආයෙම හිතෙනව නැ මේක තමා හොඳම විදිහ වෙන්න තිබුන කියලා. ඒ කතාව මගේ ජිවිතේ සතුටින් තියන්න සැහෙන්න ඉවහල් වුන කතාවක්. ඒත් ඕක ඔවු එහෙමයි කියලා මං පිළිගන්න නම් සැහෙන්න කාළයක් ගියා. ඒ කතාව ඒත්තු ගන්නපු කෙනාට මං හදවතින්ම ස්තුති වන්ත වෙනවා....
සුන්දර හො අසුන්දර අතිතය මතක් කරන් අනගතය හරි වර්තමානය හරි සතුටින් තිය ගන්න පුළුවනිනම් ඒක කමක් නෑ. ඒත් අතිතය වෙනස් නොවිම ගැන දුක හිතන්න එපා.


Monday, 10 October 2011

"වහින් වැහි වළා...... "

හීන් පොඳෙ මද වැස්සෙ,
යන්න දැවටිලා...
සිසිල අරන් සිත් අරණට,
එන්න ලං වෙලා...

පියුම් විලෙ තුරු ගොමුවෙ,
බලන් නැගිටලා...
සිත් කුල්මත් කරමින්,
වැහි පොදක් වැටෙනවා...

ගී ගයනා කුරුල්ලනේ,
අසන් ලංවෙලා....
රගමුද අපි මද වැස්සේ,
තෙත් බරිත වෙලා...

අකලට වැටි දිය දහරක්,
නොවි සැගවිලා....
හෙටත් උදේ වසන්තයෙ,
වහින් වැහි වළා....

Friday, 23 September 2011

දුරක ගිය මගේ සඳ....

පුර හඳ ඇවිත් සය මස මා ළග උන්නා.....
අව අටවකක් වී ඒ සඳ  උතුරට ඇදුනා....
අමාවක තරම් නැති මුත් සිත දුක රන්දා....

පුර හඳ නැගෙන තුරු සිත ඉවසුම් නැතිවා......

Thursday, 8 September 2011

විමුක්තිය.......


  රුදුරු අව් රශ්මියේ,
  උගුර ලේ රහ වෙද්දි,
  විමුක්තිය ඉල්ලලා,
  හඩා වැටි යෞවනේ.....

  බැටන් පොලු පහර වැද,
  නින්දාද විද දරා,
  පොලිස් කුඩුව තුලින්,
  
  එබි බැලු යෞවනේ.....

  බලය නැති නිසා දුක,
  අරගලය පණ අදිනු,
  නිසා බලයක් පතා,
  මනාපය දිනාගත් යෞවනේ......

  යට වෙලා රුපියලට,
  විමුක්තිය වල දමා,
  පාග පාගා දමන,
  හෙට පිපෙන යෞවනේ.....

Saturday, 3 September 2011

මගේ පුතාට ආදරයෙන්........

නැතත් යන්නට යාන වාහන,
නුඹේ සෙවනැලි පාර කිවා..
නැතත් කන්නට සුපිරි දේවල්,
නිව්වා කුසගිනි නුඹේ සිනාවෙන්....

තවම සුවඳයි පුතේ දුහුවිලි
නුඹ පයට පෑගිලා දැවටුන,
තවම ඇසෙනවා පුරා නිවහන,
නුඹේ කිරි කැටි වදන් ගිලිහුන...

බලන්නට දුක සැප අපේ...
ලබන්නට උණුසුම උඹේ....
වරෙන් ඉගිලිලා නොයන්නට යලි..
යස ඉසිරු නැහැ සතුට දෙන්නේ...

දුරක දුරු රට විදින දුක් නුඹ...
දියකරලා මසුරන් කළත්..
ආවදා යලි නැතත් රන්මසු..
පුතේ මේ ගේ නිවහනක් වේ...



Sunday, 21 August 2011

නුඹ... හා...මා....

කිසිත් සිතන්නට සිත ඉඩ නැතිවා...
නුඹ ගැන සිතුවිලි පොර බදනා...
නුඹ සිත මා ලග හින්දද මන්දා...
මෙතරම් සිතුවිලි නුඹ ගැන මා.....

බලන බලන රූ දසුනේ සුවහස්...
නුඹම සිනසෙයි සැම තැනමා....
නෙතු අද්දර නුඹ සැතපි නිසාද...
නුඹ රුව පමණක් නෙතු දකිනා...

නැත කිසි වදනා අවටින් ඇසෙනා...
නුඹේ හඬ පමණා සවන් පුරා...
ලොවම මගෙ නුඹ හින්දද මන්දා...
වෙනින් ලොවක් මට නොඇසෙන්නා...

Saturday, 6 August 2011

වාසනාවන්ත දුර්ජනයෝ...

වෙලාවකට මේ ලෝකේ හරිම පුදුම  තැනැක් කියලා හිතෙනවා නේද? ලෝකේ කොයිතරම් නම් ආගම්, දර්ශන තිබුනත්, ඇස් පනාපිට ඒ දේවල් මිත්‍යාවක්ද හිතෙන තරමින් කපටි, කෛරාටික මිනිස්සු සියලු සැප සම්පත් විදිමින් ජිවත් වෙනවා නේද? දේශපාලන කරළිය දිහා බැලුවහම නම් මං මේ කියන දේ මනාව පිලිඹිබු වෙනවානේ. හොර මැරකම් සියල්ල දැනගෙනත්, තව තවත් ජනතාව පෙළමින් සොරකම් කිරිම, මැර කම් කිරිම සාමාන්‍ය දෙයක් වෙලානේ. ඒත් මේ මිනිස්සු යහතින් ජිවත් වෙනවානේද හිතුවාම පුදුමයි නේද? පෙර කල පිනක් නිසා වෙන්න ඕනේ කියලා හිත හදාගන්න තමා තියෙන්නේ. ඒත් මේක පිනක්ද, පවක්ද කියලා කියන්න තරම් නම් තෙරෙන්නේ නෑ. මොකද මේ කරන පව් වල තරමට විපාකත් ලැබෙන්න එපයි.

කොහොමත් මේ කවුරුත් අකමැති සර්ව අසුභවාදි දේශපාලනය ගැන නම් නෙමේ කතා කරන්නේ. අපේ එදි නෙදා ජිවිතය ගැන. සමහර සමාජිය හැල හැප්පිලි නිසා අපේ ජිවිතේ සමහර සිතුම් පැතුම් ගති පැවතුම් වල් වදිනවා නේද? ඒත් සමහර හොඳ ගති මැකියන්න දෙන්න නම් එපා. ජිවිතේ හැමදාම දකින්නේ ඔබ අවට ඉන්න දුර්ජනයො ඔබව තලා පෙලා සතුටු වෙන අයුරු නම් හිතෙන්න පුලුවන්නේ මටත් පුලුවනි කරලා පෙන්වන්න වගේ දෙයක්. මං මේ කියන්නේ මෝඩකමේ උඩ බලාන උන්ටම ගිය රට කියන මානසිකත්වයෙන් ඉන්න කියන දේ නෙමේ. පලිගන්න ගිහින් හිත කිළිටි කර ගන්න එපා කියන දෙයි.

නුඹ එහෙම පලි නොගන්න නිසා තමයි දුර්ජනයා වාසනාවන්තයෙක් වෙන්නේ. ඒක වෙන්නෙ මෙහෙමනේ, අපේ සමහර මිනිස්සු ඉන්නවා මොන වැරැද්ද කළත් කළ දුටු කළ වල ඉහගෙන සුදනෝ වෙන්න දඟලන පිරිසක්. අපිත් ඉතින් ඇත්ත ඇති සැටියෙන් නොදන නොවුනත් කරදරයක් වෙලා උදව්වක් අවශ්‍ය වුනාම කරනවානේ. හැබැයි පරෙස්සමින්, කූඩැල්ලා මෙට්ටේ තියන්න බෑ කිවා වගේ, කොහෙන් ආයෙම හැමදෙම විනාශ කරයිද කියන්න දන්නේ නෑ. ඉතින් නුඹ වගේ හොඳ මිතුරෙක් හෝ නෑයෙක් ලබන්න ඔහු වාසනාවන්තයෙක් වෙලා. නුඹ එවන් ඇසුරකට පත්වෙන්න තරම් අවාසනාවන්ත වෙලා. ඒක අවාසනාවන්තකමක් නෙමෙ, නුඹ කරන ලද පරණ පවකට සිදු වන දෙයක්. 

සසර කතර නෙක විසිතුරු අතර ගැලි.......
කුමට සොයනු සැප සම්පත් නිතර සැලි....
කාසි සොයා අතොරක් නැති ලොවේ  රැදි......
මිනිසා යාවි නිම් හිම් නැති ගමන් නිති...


ඒ කොයිහැටි වෙතත් ජිවිතේ තමුන් කළ වැරදි ගැන තමන්ට යමක් කමක් කර ගන්න බැරි වුන දවසක ලොකු පසුතැවිල්ලක් දැනෙවි. ඒත්, එදාට කිසිම දෙයක් නිවරදි කරන්න තරම් නුඹ ශක්ති සම්පන්න වෙන එකක් නැහැ වගෙම ජිවිත කියක් විනාශ වෙලා තියෙද කියලත් කියන්න බෑ. 

ගත සිත වැහැරිලා ගිය කල දිනක මතු....
බැලුවද කිමද පල නුඹ කල පවක තතු.....
ගිලිහුන කිසිත් නොම වෙයි කිසි දිනක සතු....
සිතා කරුණු යනු සසරෙ ගමන මතු....


 කේළමට ආයුෂ අඩුයි. මිනිස්සු සදා මෝඩයෝද නොවෙති. මිනිමරුවො සදා සැඟව නොයති, ඔවුන් පාපොච්චාරනය කරයි ඉක්මනින්. ඒ නිසා අද හිත හුඟක් පැරුනත් කවදාවත් පසුතැවිලි වෙන දෙයක් නොකර ඉන්න එක තමා හොඳ.  දුර්ජනයෝ සදා වාසනාවන්තයන් වෙන්නේ නෑ.


නුඹට සදා ජය........ !!!

Monday, 1 August 2011

ඇය.......!!!

සිහින දකින තරමට  රැය දිගු                          වැඩිය
පැතුමන් පතන තරමට සුසුමන්                       වැඩිය
කඳුළැලි සලන තරමට ලොව                     හිනහෙය
ගැහැණිය වීම තුල අවලාදය                           වැඩිය

දහසක් රිදුම් උහුලන මිහිකත ලඳකට               සමලු
සවිබල නැතිව එතෙනා වැල ලිය                     වේලු
දහසක් වාද නගනා සභ ලිය                            වේලු
පිරිමින් බුදු වෙලු ගැහැණිය චපලම                  වේලු 

ආසයි ඇයත් හින හෙන්නට                       නිදහස්ව
බිදුවක් අසන් හදවත ගැහෙනා                         රිද්ම
සිර කුටියකට වී සිටියද දැහැන්                         වැද
සෙනෙහස සුවඳ ඇය අයදින එකම                   සැප

කාටත් සැනසෙන්න හිත මත සුසුමන්              දරනා
පැතුමන් ගුලි කරන අහසට ආ                        වඩනා
නොම වෙයි පැතුම සම තැන වෙත ලෝ          තුලිනා
අයදුම පමණි සිත ළඟ මිනිසත්කම                  පතනා


දූර ගමන්........... ඒක චරං...........

මාතෘකාව දැක්කාම නම්, සිත ගැන කියලා හිතෙයි නේද..? එක අතකින් එහෙම තමා. මේක ලියන්න හිතුවේ පාරේ වාහනේ තනිව දුර ගමන් යන අහිංසක සහොදරියන්ට. මං සාමන්‍යයෙන් තනිව යන්න එන්නේ කොළඹ තමා. නුවර ඉදන් කොළඹ යන අතරතුර සිදුවුන දෙවල් අසුරෙන් තමා මේ පුංචි සටහන දාන්න හිතුවේ. කාට උනත් ප්‍රයොජනයක් වෙයි සමහර විට.

දුර ගමනක් යනකොට තියන එක ප්‍රශ්නයක් තමා කවුරු තමන්ට එහා පැත්තේ ඉදගනිද කියන එක. මොකද නැගිටලා අයින් වෙලා හිටන් යන්නත් බැහැනේ. සමහර මන්ද මානසික මිනිස්සු ඉන්න නිසා පරෙස්සමින් යන්න පුලුවන් පොඩි ක්‍රම ටිකක් ලියන්න හිතුනා. මොකද ඒකේ අපහසුව මට හොදට දැනිලා තියන නිසා.

1. බස් රථයේ කොන්දොස්තර මහතාට හරි රියදුරු මහතාට හරි ළඟ අසුනක ඉඳ ගන්න. කරදරකාරි පුද්ගලයෙකු තමන් අසල ඉන්නවානම් ඒ දෙන්නට කියන්න. එයාලා බොහො විට ඔබට උදව් කරයි. මොකද එහෙම නොකරුවොත් එයාලට උනත් නීතිමය මාර්ගයෙන් ප්‍රශන්යක් ඇති කරන්න නුඹට පුළුවන් කම තියන නිසා.

2. අනවශ්‍ය කතා වලට පැටලෙන්න එපා. පුලුවන් තරම් කෙටියෙන් පිළිතුරු දිලා පැත්තකට වෙන්න. අනික වදයක් වගේ තෙරෙනවා නම් පුලුවනි නම් ඉංග්‍රිසියෙන් කතාවට උත්තර දෙන්න. හුඟක් වෙලාවට කතාව මගින් නවති.

3. තමන් කොයි ආකාරයක රැකියාවක් කලත් කමක් නැහැ. උගත් වෘත්තියක නි‍යළෙන බව අගවන්න. කළාතුරකින් තමයි උගත් (මෝඩයෙක්) කෙනෙකුගෙන් කරදරයක් වෙන්නේ. එහෙම ඇගෙව්වාම පොඩ්ඩක් විතර කතාවට පසු බහිනවා.

4. තද නින්දකට එහෙම යන්න නම් එපා. තමන්ගේ නින්ද පාලනය කර ගන්න කොහොම හරි.

5. තමන් පිළිබඳ ඇත්ත තොරතුරු එළි කරන්න එපා. ඒක අනවශ්‍ය ප්‍රශ්න ගොඩකට මුල පිරිමක් වෙනවා.

6.සින්දුවක් ගියත් නැතත් කමක් නැ. ඉයර් ෆොන් එක ගහගෙන යන්න පාඩුවේ. දැන් තියන ලාබම දුරකතන එක්කත් එවා හම්බ වෙනවානේ. ඒ නිසා හුඟක් අය ළග ඇති.

7. තමන්ට එහා පැත්තේ අසුන හිස් නම්, තමන්ගේ කෙනෙක් නගින්න ඉන්නවා වාගෙ වෙන් කරන් ඉදලා, තමුන් වගෙම ගැණු ළමයෙක් නැග්ග ගමන් ළඟින් වාඩි කරවා ගන්න. ඒක බොහො දුරට නගරාන්තර සිඝ්‍රගාමි බස් රථ වල සිදු කරන දෙයක්.

ඒ වගෙම තමා හිටගෙන යන අයටත් හුඟක් කරදර නම් විදින්න සිද්ද වෙනවා. තමුන් බස් රථයකට ගොඩ උනාම තමන්ටත් සහොදරියො ඉන්නවා කියන එක අමතක නොකර යනවානම් තමා හොඳ. කාටත් බස් රථය, දුම් රිය පොදුයි කියන දේ අමතක කරන්න එපා. 

Monday, 25 July 2011

ආදරණිය මිනිසුන්........

ජිවිතේ අපි ළඟින්ම ඉන්න අයගේ උනත් අගය තෙරෙන්නේ ටිකක් දුරස් උනාමනේ. අම්මා කොච්චර රහට කෑම උයනවාද කියලා තෙරෙන්නේ කඩෙන් කන්න උනාම් හරි අපිම උයාන කන්න පටන් ගත්තු දවසටනේ. පාළුව තනිකම හිතට දැනෙනකොට ගෙදර දුවගෙන එන්න තිබ්බානම් කියලා හිතෙන වාර අනන්තයි. මේක ගෙදරින් ඈත් වෙලා දුරු රටවල ඉන්න අයටනම් හොදටම දැනෙනවා ඇති. ඒ වගේ වෙලාවකට හිනෙන් වත් අම්මා ළඟට අවානම් කියලා හිතෙනවා නෙද. එහෙම වෙලාවක ලීව කවියක් තමා මේ....

 

නැලවෙන ගොයම මෙන් ලාලිත වේය සිත...
ඇසෙනා විටක නුඹ වදනා සවන් මත...
නැගෙනා සඳ කැල්ම මෙන් සුමුදුය උණුහුම්ය..
නුඹ ලයෙ දැනෙන සෙනහස් උණුසුම් ගගුල...

එඩිතර වේය හිත දහසක් අකුල් මැද...
නලළත සිබින ආදර පැතුමන් අතර...
සිහිවේ නිතර සිහිවේ මට නුඹ තුරුල...
අම්මේ එනවාද සිහිනෙන් වත් ලගට අද...



ඒ වාගෙම තමා පියවරු වැඩිය අපිට ආදරය පෙන්වන්නේ නැහැනේ. ඒත් ඒ ආදරය දැනෙනවා. හුඟක් දැනෙනවා ජිවිතේ කොහේ හරි තැනක පාර වැරදුනොතින් එහෙම. මොකද එදාට ආයෙම අපිට වාරුව වෙන්නේ ඒ දැඩි හිතම වෙන නිසා. එහෙම උනාම පාරමි පුරන්න හිතෙනවා ආයෙම මතු සසරක එක්ව බැදෙන්නට....

නෙතු මත කඳුලැලි පොකුරු පියුම් දැක,
සිත මත දහසක් සිතුම් හුවා ගෙන..
කාටත් නොකියා තනියම වැලපෙන..
පියෙකුගේ සෙනෙහස මහමෙර තරමට...

සිතම සොරා ලොව එබිකම් කල දා,
නුඹට සොරා මා පාරමි පිරුදා..
ලොවම එරහිවී පා එස වු දා..
රැකවරණයි නුඹ ලය මට සැමදා...

මලක් පුදා බුදු සෙවනක් අභියස,
වරම් පතා යදිනෙමි සහසක් වර
සෙනෙහෙ ලබා මතු හැම අත්භවයෙම..
දියණිය වන්නට නුඹ උණුහුම ලද..





ඒ වාගෙම තමා කොකටත් කියලා රණ්ඩු වෙන්න උනත් එක කුස උපන් සහොදරියකට ඉන්නේ එක්කෙනයි. පොඩි එකා හින්දා පුංචි අවවාදයක් කියන්න හිතුනා.( මට සහොදර සහොදරියො හුඟක් ඉන්නවා. සමහර අය ලේ නෑයො. සමහර අය මේ ආපු ගමන් මග තුල හමුවු අය. දවසක එයාල ගැනත් සටහනක් තියන්නම්.)

නුඹ දකින සොඳුරු ලොව,
සිහින මල් කිණිති මත,
මල් පිපි සුවඳ වි,
දිලෙවා සැම දිනක.......

ලොව රුදුරුයි- දිය ගැඹුරුයි,
සැඩ රළුමය -නුඹ ලබැදිය,
සිත දිරිව ලොව දිනා,
ගනු මැනවි මා නැගණි....




මේ ජිවන ගමන බොහො දුරයි. පවුලක් විදිහට ලේ නෑ කමකින් බැදුනාව අමතරව, තව අතර මග බොහො අය හමු වෙනවා. සමහර අය මතකය අතරින් ඇතටම යනවා. සමහර අය ජිවිතේ සදා දුක සැප බෙදා ගන්න ලඟින්ම ඉන්නවා. මේ මට ඒ ඉතුරු මග ගෙවා යන්න හමුවු ඒ සොදුරු මිනිසා...

සඳක්මය පායනා.... කිරණ දී නහවනා.....
ඉරක්මය නැග එනා...... එළිය දී සනහනා....
මලක්මය පුදිනා .....සුවඳ දී සතපනා...
දොළක්මය බැසයනා..... සිසිල දී දැවටෙනා....

විදාහල දෑතගින්.. තුරුලු කර ජිවිතෙන්....
උණුසුම්වු දෙතොලගින්... තබා සෙනෙහස් කැළුම්....
අහිංසක නෙතු අගින්.. සලා ආදර හැගුම්...
සදා ළග හිදිනු මැන... නුඹයි ජීවය මගේ...









Sunday, 24 July 2011

"න........"

 මේක මම කළකට ඉහත මුහුණු පොතේ සටහන් කළ නිර්මාණයක්.

 නිමක් නැති සුසුම් මත..
 නිහඬවම ඉකි බිදින..
 නෙතු අතර සැගව යන..
 නිනව් නැති පැතුම් පොදි...

 නගා රළ පෙල බිදෙන..
 නිසල නැති සයුරු කොන..
 නිදන් කොට ගොම්මනෙ..
 නික්ම යමි සෝ දුකින්..

 නිශා ඉම කලබවා..
 නොම මවන් අශා පොදි.
 නිවන් මග සොයා මම ...
 නගමි පිය නිසසලව...

 ඒ කාළේ ටිකක් වැඩ වැඩියි. ඒ නිසා වැඩ කරන්නම කම්මැලියි. බොහොම සාමන්‍ය දෙයක්නේ.. ඉතින් මේ කවිය දැකපු සුමුදු මෙහෙම සටහනක් දැම්මා.

 නන්දනීයයි පබැඳුම...

  නමුදු සොයුරිය
  නිබන්ධනයෙහි වැඩ
  නිමකළ යුතු නොවෙද
  නොපමාවම...?

කවියකින් ප්‍රතිචාර දැකුවම එක හරි සුන්දරයිනෙ...ඒ සටහනත් "න" යන්නෙන්ම සටහන් වුන නිසා මේ විදිහට පිළිතුරක් තියලා මාත් ආයෙම වැඩේ පටන් ගත්තා.  

  නිසංසලේ හිදිනු බැරිව....
  නිෂ්පලවු සිතුවිලි ගෙන...
  නිනව් නොමැති අතිතයට..
  නිරන්තරේ අදෙනා හිත....
 
  නිසොල් කරනු බැරිවු සද..

  නිකමට මෙන් මේ පදවැල...
  නිමකර සිත යලි එක්කර..
  නිබන්දනේ වෙත ඇදුනා..

මේක මගෙ සුන්දර මතකයක්..... ඒ නිසා සටහන නැවත් මෙතන තියන්න හිතුනා.

Friday, 22 July 2011

සදා මිතුර...මා තනිකම...


  තනි තරුවේ තනි අහසේ
          තනිකම දැනෙනවා නේද...
   තනියට මගෙ ළඟින් ඉන්න,
           අනේ ඇවිත් යන්න බැරිද...

   කියා ගන්න දහසක් ඇත,
          ළඟ ඉඳගෙන අහං ඉන්න...
   මගෙ සුසුම් අරගෙන ගොස්,
          හිස් අහසට දමා එන්න...

  පැතුම් සිහින දහසක් ඇත,
         බොඳවන සිතුවමක් විලස...
   බයයිනේ මට නිදා ගන්න,
         සිහිනය එළි නොවන නිසා...

  කියා ගන්න කෙනෙකුදු නැති,
        එනමුදු දහසක් ලොව ඇති...
   අරුමෙකි තනිකම නුඹ නම්,
        සදා නොයන මිදි මගෙන්.....

Saturday, 16 July 2011

පුංචි සිතුවිල්ලක්...

ආදරය කරන්න..
     හිත පුරාම
ආදරය ලබන්න..
     ඒත් සිඟන්න එපා

උදව් කරන්න..

    හැකි තරම්..
උපකාර ලබන්න..
    ඒත් බලපොරොත්තු වෙන් එපා

අනුකම්පා කරන්න..

    සෑම අසරණයෙකුටම
අනුකම්පා ලබන්න..
    ඒත් අසරණ වෙන්න එපා

හිනා වෙන්න..

     මුව පුරා නැගුන සතුටින්
හිනස්සන්න..
    ඒත් නුඹට හින වෙන්න දෙන්න එපා

හඩන්න..

    දුක නිවෙන තුරු..
හඩන්නට ඉඩ දෙන්න...
   ඒත් නුඹ හඩවන් එපා

ජිවත් වෙන්න..

   සැමට සවියක් වෙලා
ජිවිතේ දෙන්න..
   ඒත් ආත්මය දෙන්න එපා

Thursday, 7 July 2011

පසුතැවිල්ල...

විශ්වාස නොකළද,
අවිශ්වාස කිරිමට අකමැති වු නිසා...
ලොවට ඇහෙන්නට හඬපා,
නුඹේ ගුණ කී මට...

නුඹ සුන්කළ පැතුම් මත,
යළි අහම්බෙන් පීදි මල...
දුක දරයි හිත පුරා,
වැදි සුන්බුන් අතිතේ.....

විශ්වාස කළද,
ප්‍රත්‍යක්ෂ කරගනු නොහැකිව,
හඬමි මම ඉකිගසා,
ඔහු විදින දුක බලා...

නුඹෙ කටුක මතක ඉම,
කවදා වුන් වලලන්නේ...
අනේ මට හිනහෙන්න,
කවදාද හැකිවෙන්නේ..

Monday, 4 July 2011

යමු අපි දෙන්නා එක සිත නිති සවිය කරන්....

මල් පිබිදිලා පර වෙනවා ලොව නිබඳ,
හිරු හිනහෙලා බැස යනවා සවස් කල,
දුක සැප එනවා නිතරම ලොව ඒ වගෙම,
සිත් බැඳි සෙනෙහෙ පවති එනමුදු නිබඳ...

ආ මග සුවඳ නැත යන මග රුදුරුමය,
එනමුදු සතුට නැත නිම් නුඹ මා ළඟය,
දුක නම් පුරුදුමය හිත උහුලනු හැකිය,
සෙනෙහස නුඹේ අත්වැලමය සදාකල...

හඬවාලන්න සුවහස් දෙන ඇති සන්දා,
වෙන්වනතුරුම පෙරුමන් පුරනා සන්දා,
ලොවට මුවාවි මංපෙත එකලු කරන්,
යමු අපි දෙන්නා එක සිත නිති සවිය කරන්....

(නො)දනිමි...

Sunday, 3 July 2011

සත්‍යවාදියො.....

මේ කතාව මං මෙහෙම කියන්නම්. අපේ අම්මනම් ටිකක් විතර පොයට පන්සල් යන කෙනෙක්. අප්පච්චි ආගමට ලැදි නෑ කියන්න බෑ. ඒත් දැන් කාළේ ඉන්න හාමුදුරුවරුන්ගේ යම් යම් ක්‍රියා කලාපත් එක්ක ලොකු ඝට්ටන ඇති කර ගන්න එක වෙන නිසා ගමේ පන්සලට නොයාම ඉන්න එක හොඳයි කියලා තමා ඉතින් කියන්නේ. මට පේන විදිහටත් වරදක් නෑ ඒක. මොකද අදට අපෙ ගමේ මිනිස්සු මේ පන්සලට යන්න හෙතුව වෙල තියෙන්නේ තමන්ගේ පාංසකූලයට එන්නේ නෑ කියලා හාමුදුරුවෝ කියන නිසා කියල කිප දෙනෙකුගෙ කතාවෙන් මට තේරුනා. අද කාළේ හාමුදුරුවරු මොන තරම් සැප විදින්න පුරුදු වෙලාද කියලා කියනවානම් කරඬුව වඩම්මගෙන දානෙකට හෙවිසි ගහ ගහ මේ අඩි 10ක් තියන ගෙදරට එන්නත් රෝද තුනක් ගෙන්න ගන්න පුරුදු වෙලනේ...මේ ඉතින් අපෙ කාළේ හාමුදුරුවෝ පිරිසක්.. ඒ වගෙම තමා ඉතින් හුඟක් දැහැමිව ජිවත් වෙන ස්වාමින් වහන්සෙලාත් ඉන්නවා. ඒ අය ප්‍රසිද්ධ අඩුයි. ඒ නිසා බණ වලට ආරාධනා එහෙමත් ටිකක් අඩුයි. හැබැයි ඒ ස්වාමින් වහන්සේලා සල්ලි ගන්නෙ නෑ බණ කියන්න.........

ඒ වගෙම තමා අපේ උපාසක අම්මලාත් බහුතරය. මේ කතාව අප්පච්චි මීට අවුරුදු 2කට විතර උඩදි හිනා වෙවි කිව දෙයක්. අපි ඒ කාළේ පදිංචි වෙලා හිටිය හරියේ රෑට ඉත්තෑයො අවිත් විනාස කරලා යනවා. ඉතින් උදේ අප්පච්චි වැටෙන් ඉත්තෑයො රිංගපු තැනක් වහන කොට, එදා පෝය දවසක් නිසා උපාසක අම්මා කෙනෙක් සිල් ගන්න යන ගමනින් අහුවලු මොකො පුතෙ කියලා, ඉතින් අප්පච්චි කාරණාව කිවාම, රෑට මද්දක් ගහපන් පුතෙ ඕකා අල්ල ගන්න කියාන ගියාලු. ඔන්න ඕක තමා ඉතින් හුඟක් අය කරන්නේ..

අද සමාජයේ බොහෝ දෙනා සුදු පිරුවට දාගත්තාම තමන්ගේ හිතේ තියන කළු පැල්ලම් පේන්නේ නැහැයි කියලා හිතන්නේ. ඒ නිසා තමා හැම තැනම පංසල් විවෘත කරලා, අපෙ සමහර අය මිනිමරන්නේ. කොටවන්න කේළම් කියන්නේ, මත් කුඩු ජාවාරම කරන්නේ... මේක ලියන මං කිසිම වරදක් නොකරන කෙනෙක් නෙමෙයි. ඒත් මට එදත් අදත් හෙටටත් බොහොම ආගමික ලැඳියාවන් පෙන්නන අය ගැන විශ්වාසයක්  නෑ.......


ප.ලි. : හොඳ අයගෙ හිත රිදුනානම් සමාවෙන්න. ධර්මය කතා කරන ධර්මයේ හැසිරෙන්නෝ හමුවෙලා නැතිවම නෙමෙයි. ඒත් බහුතරය කරන්නේ බොරුවක් කියලයි මට හිතෙන්නේ.......

Friday, 24 June 2011

මගෙ ලොවේ......

නෙතු පියන ඇසිල්ලට
                 සරන සිහිනය නුඹය...
නෙතු ඇරෙන නිමේෂෙට
                සොදුරු සිත්තම නුඹය....

නිහඩ ලොව තුළ නැගෙන
                එකම රස වදන නුඹ..
මහා හඬවල් මැද්දේ
               කොදුරනා වදන නුඹ...

කතර තුල සරන විට
               දියබිඳුව මට නුඹය...
දියෙන් පිරි ලෝ තලේ
              නෞකාව මට නුඹය..

සුසුම් ලනු බැරි ලොවේ
               ජිවයයි නුඹ මගෙ..
සුසුම් පිරි තනි ලොවේ
               සිනාවයි නුඹ මගෙ...

අඳුර පිරි මාරුතේ
               සඳ කැල්ම නුඹය මට...
එළිය පිරි රුදු ලොවේ
              සෙවනක්ය නුඹ මෙමට...

බොඳව යන මගෙ ලොවේ
              පැතුම් සයුරක්ය නුඹ...
පිබිදෙනා මගෙ ලොවේ
               එකම පැතුමත් නුඹය....

"ස........"

Wednesday, 22 June 2011

මා දුටු තායිලන්තය......

මා මේ පළ කරන ලිපිය මාගේ වසර දෙකක තායිලන්ත අත්දැකිම් තුලින් මාගේ බුද්ධියට අසුවුන මට්ටමේන් කරනු ලබන සදහනක්ය.

තායිලන්තය යනු ථෙරවාද බුදුදහම ප්‍රචලිත කරන ලද  බහුතර ජනතාවක් බුදු දහම අදහන රටක්ය. බෞද්ධයෝ මස් මාංශ වලින් වැළකි සිටින්නොය යන්න හෝ තායිලන්තයේ කන තරම් මස් නොකන්නොය යන්න ඒ රට සංචාරය කල ඇත්තො බහුතරයක් කියන කාරණාවක්ය. සැබැවක්ය.. බෞද්ධයො වෙලත් ලංකාව තුල මිනිසුන් සාමාන්‍ය පාරිභොජනයෙ නැති පණුවන්, ගෙම්ඹන්, කුරුමිණියන්  වැනි සතුන් මෙහි සාමාන්‍ය කුකුළන් විකුණන ගානටම විකුණනු දක්නට හැකිය. මාද සත්ව භාවිතය ඒ රට තුල වැඩි බව පැහැදිලිවම පිළිගනිමි. ඒත් , ඒ ඔවුන්ගේ ජිවන රටාව සමඟ පුරුදු වුවක්ය. අපෙත් ඉතින් කුකුළෙක් එහෙම හොඳට බැදලා දුන්නාම නොකන බෞද්ධයො නම් ඉතා අල්පයි මං හිතන්නේ..

තවද, ගැහැණුන් අදින්නේ කොටටය, හිරටය. සමහරුන් සිගරට් භාවිතා කරයි. සමහර පිරිමින් ගැහැණුන් විමට උත්සාහ දරයි. ගණිකා වෘත්තියේ නියලෙන්නෝ එය නිදහසේ කරගෙන යයි. ඔවුනට හරියට ඉංග්‍රිසි බැරිය. මේ කරුණු කාරණා සියල්ල ඇත්තය. මෙතෙක් වනතුරු කියෙව්වාම මොන ජරා රටක්දැයි සමහර විට හැගෙන්නට ඇත. කොහොමත් අපි කැමති අපේ නොවන දෙවල් හොඳ නැ අපෙ නම් හොඳයි කියන්නනේ.

ඉහත කී කාරණා අපි ප්‍රතිපත්තියක හිදි නම් ඒ රට තුල ජිවත් විමට කිසි අපහසුවක් ඇති කරන කාරණා නෙමෙයි නේද...?

ඉතිරි ටිකත් කියවලාම තිරණයකට එන්නකො.

මං මෙහෙම කියන්නම්, සවස 6 වෙදිදි ගෙදර ඉන්න ගැණු ළමයා ගෙදර නැත්නම් අයියලාට, තාත්තාට වෙන නිවනක් නෑනේ අපේ මේ මහ ලොකු බෞද්ධයො ඉන්න රටේ. ත්‍රිවිල් එක්ක එන්න කියන්නද රෑ උනාම.. ඒක ඊටත් භයානකයිනෙ.. ඒත් තායිලන්තයේ නම් ඕනෑම වේලාවක ගමන් කිරිමට, එසේත් නැතිනම් ටැක්සි එක්ක නැගලා එන්නට බය වෙන්න ඔනේ නැත. ඒ වගෙම තමයි, ටැක්සි දුවන්නේ මීටරෙට හරි පාරේ, රියදුරු මහතාගේ අවශ්‍ය විස්තර වාහනයේ පුවරුවක ලියලා තියෙන්නේ. ඒ නිසා බොරුවක් නොවෙන ගානම තමයි.

අනික බස් රථ වල කොන්දොස්තර වැඩේ බොහෝ විට කරන්නේ ගැණු පාර්ෂවයේ අය. එයාලා ගාව නම් ඕන තරම් මාරු කාසි තියෙනවා. ඒ නිසා ටිකට් එකට අදාල ගාන විතරයි ඉතින් බස් එකට ගෙවන්න වෙන්නේ. අනික රියදුරු මහත්තයාටත් හොඳට කල්පනාව තියෙනවා ඉස්සරහා ලොකු මාර්ග අවහිරයක් නම් කණ පැලෙන්න හෝන් ගහලා වැඩක් නැ කියලා. ඒ හින්දා අපේ වගේ කණ පැලෙන්න තියා එහෙම දෙයක් කණට ඇහෙන්න වදින්නේද නැත...

අනික් ප්‍රධාන කාරණාව නම් මිනිසුන් බහුතරය බොහොම නිරහංකාරය. ඔවුන් සමග කතා බහ කිරිමට ඇති එකම අපහසුව භාෂාව තමයි. බහුතරයකට ඉංග්‍රිසි බැනේ. අපිටත් හරියට බෑ, ඒත් ගැට ගහ ගන්න පුලුවන්නේ. යන්න පාරක් තොටක් අහන්න ලංකාව වගෙ පොලිසියේ මහත් හොරු  හොයන්න ඔනේ නෑ. කාගෙන් ඇහුවත් දන්නවනම් කියයි. නැතිනම් කඩේ යවලා අමරුවේ දාලා හොරාට ගසා කන එක නම් වෙන්නේ නෑ.

ආ..... බස් ගැන පාරවල් ගැන කියද්දි අමතක වුනා කියන්න. එහේ පිරිමි පාර්ශවය සුදු හින්දද මංදා ලොකු පෞර්ෂවක් ඔවුන්ගේ පෙන්නේ නම් නෑ. හැබැයි දෙය්යනේ කියලා කොච්චර හිර උනත්  අපේ ඇගවල් වලට මුක්කු නොදි බස් එකේ යන්න නම් කොන්ද පණ තියෙනවා. තවද, හොඳට පිලිවෙලට පොළිමේ ගිහින් බස් එක්ක හරි දුම්රියක හරි නැගලා යන්න ඉවසුමකුත් තියෙනවා.

තවත් වැදගත්ම කාරණවක් තමා ඔවුන්ගේ ප්‍රධානියා රජෙක්. ඒ රජතුමාට සිවිල් ඉංජිනේරු විද්‍යාවේ පශ්චාත් උපාධියක් තියනවා කියල තමා අහලා තියෙන්නේ. උගතෙක්.... ඒ නිස වෙන්න ඇති සමහර විට මේ තරම් ගමනා ගමනය දියුණු. අනික් කාරණය තමා මිනිස්සු රජතුමාට හදවතින්ම ආදරය කරනවා. මා ලගදි ගමන් කරමින් සිටින විට, මාගෙ මිතුරෙකු හා අර රජතුමාගේ පිංතුරයක් දැකලා මොකක් හරි අපි කතා වුනා. ඒක දැක්ක වාහනේ රියදුරා මෙන්න මෙහෙම කිවා " Americans have a super man......we have a super king".. අපේ වගෙ පාර දිගේ පොස්ටර ගහලා, පාක්ෂිකයොම මල් මාලා දාලා පිළි අරගෙන අමුතුවෙන් මිනිස්සු තුල පහළ කරන්නට යන ගෞරවයට වඩා ඔවුනගේ සිත පත්ලෙන් නැගෙන දෙවල් කොයි තරම් අගෙද...?

අනිත් දේ තමා දන්නා තරමින් සෑම රැකියාවක් සඳහාම හොඳ ගෞරවක් ලබා දිලා තියෙනවා. ඒ නිසා කෘෂිකරමය කරන අයට, අනික් ඕනැම රැකියාවක නියුතු අයට අවශ්‍ය පරිදි එවා කරගෙන යන්න මාර්ග සැදිලා තියෙනවා. හැමොම නගරයට ඇවිත් අලුත් රැල්ලට අසු වෙලා දුවන්නම උත්සහ කරන්නේ නෑ.

තව දෙයක් කියන්නම ඕනේ. තයිලන්තය කියන්නේ ලස්සන රටක් නෙමේ. ඒක තනිකර මවා පාන කෘතිම සුන්දරත්වයක් තියෙන රටක්. හැබැයි ප්‍රධාන අදායම් මාර්ගය සංචාරක ව්‍යාපාරය. මොනවටද මේ සංචාරකයෝ එන්නේ. එකක් කාන්තාවො. අනික නෙක නෙක සුන්දර මිලෙන් අඩු දෙවල්.. ඒ කියන්නේ ව්‍යාපාර කටයුතු සදහා. අනික සුන්දරත්වය. පළමු කාරණා දෙකම අපි අත අරිමු. ඒත් මේ සුන්දරත්වය, බොරුවට මවා පාන සුන්දරත්වයට මෙතරම් සංචාරකයො ඇදි එන්න හෙතුව මොකද්ද...? ඔවුනට අවශ්‍ය පහසුකම්, පිරිසුදු කම, නිදහස මේ හැම දේම පුදුම ආකාරයකට පිළිවෙලකට සැකසිලා තියෙන්නෙ..

හැබැයි හැම දෙම සල්ලි.. ඒකත් මතක තියාගෙනම යන්න........ එකනේ කියන්නේ සංචාරක ව්‍යාපාරය කියලා....


 තව දෙයක් මොවුන් දිය ඇල්ලක් කියල පෙන්නන තැනක මිටර 2 ක් වත් උස නැති පුංචි දිය සීරාවක් යන්නේ. කොහේ හරි පොඩි කැළැවක් අල්ලලා මොකක් හරි වනෝද්‍යානයක කරනවා. මේවා බලන්න අපිත් ආවා නේද කියල අන්තිමට ඉතින් ඔහේ එනවා. අපෙ තියන සම්පත් දැක්කම අපිට මොන තරම් දෙවල් කරන්න පුලුවනිද කියල හිතෙනවා.

තව බොහෝ දෙවල් තියෙනවා හොඳයි කියලා කියන්න. සුපිරි වෙළඳ සංකිරණ, මාර්ග පද්ධති, මේ සියල්ල ඉතා හොඳ තත්වයේ පවතිනවා. අනික සෑම කටයුත්තක්ම පහසු සුහදශිලි විදිහට කර ගන්න පුලුවන්. ලංකාවේ අපි රජයේ කාර්යාලයකට ගියාම අපිට වැඩක් කරල දෙන්නේ අපි හරියට උදව්වක් ඉල්ලන් ආව කෙනෙක් වගෙනෙ. ඒක එයාලගේ රාජකාරිය කියලා අමතකයි. උදව්වේ වටිනාකමට ගෙව්වාමනේ ඉතින් වැඩේ වෙන්නෙ. මෙහෙ එහෙම නෑ. එයාලා හොඳට තම යුතුකම දන්නවා. ඒ නිසා රස්තියාදු නොවි වැඩේ කරගෙන එන්න පුලුවනි. අනික වැඩේ කරලා දෙන්නේ හරි උනන්දුවෙන්. ඒ නිසා ලේ කෝප කර ගන්නෙත් නැතිව එන්න පුලුවනි.

මේ රටේ මිනිස්සු කෑම වර්ග හදන්නත් හරිම දක්ෂයො. එක එළවලුවක් ගත්තොත් එකේ අහක දාන්නේ නැ ලෙසියකට. කන්න පුලුවන් හැම දෙම පැකට් කරලා විකුනනවා. අනික විවිධාකාරයි. තෙලට, මිරිසට, වේලලා.... ඒ නිසා මිනිස්සු උනත් ආසාවෙන් කාලා බලනවා..

මං හිතන විදිහට නම් තායිලන්තය සාමාන්‍ය කෙනෙකුට ජිවත් වෙන්න හොඳ පරිසරයක් තියෙන රටක්. ඒ නිසා තමා රට ගියාම ලෙසියෙන් කෙනෙක් ආයෙම ලංකාවට නො එන්න හේතුව කියලාත් මට දැන් හිතෙනවා. කවුද ඉතින් අකමැති, නිදහසේ බයෙන් සැකෙන් තොරව ජිවත් වෙන්න. එහේ හොරු, හිගන්නො එහෙමත් හරිම අඩුයිනෙ...

මං එහෙ ඉගන ගන්න කාළෙම සැහෙන්න ඔය මැති ඇමතිලා අවිත් ගියා. ඒත් පොඩි ජොලියක් දාලා යන්න ඇති. එහෙ තිබ්බ කිසි දෙයක් ගෙනත් මෙහෙ ස්තාපිත කළ බවක් පෙන්න නම් නැනේ. කොයි රටෙත් සංස්කෘතියත් එක්ක හැදුන යම් යම් හොඳ හා නරක දෙවල් තියෙනවා. අපිට නොගැලපෙන දේවල් ඔලුව උඩ තියාන පුම්බලා කෑ ගහන්නෙ නැතිව හොඳ දෙවල් අරගෙන යමක් කරන්න පුලුවනිනම් අපේ රටත් මීට වඩා දියුණු කර ගන්න පුලුවන් වෙවි...

තව පුංචි සටහනක් මෙතන මං තියන්නම්....., සාමාන්‍යයෙන් ලංකාවේ ශිෂ්‍යයො අනික් අයට වඩා ඉදිරීයෙන් ඉන්නවා කියන දේ නොකිවොත් මෙතන අඩුවක් වෙනවා. ඒ නිසා බුද්ධි සම්පතත් අපි සතුව මනාවම තියෙනවා...

එහෙම බැලුවාම, ලංකාව තරම් වටිනා සම්පත් තියන රටක්ද, දියුණු වන්නට මාර්ග තිබෙන රටක්ද වෙන නැතිව ඇති....

ඒත්, අපි කවදාද මේවාගෙන වැඩක් ගන්නේ...... ???

Tuesday, 21 June 2011

මදක් සිතුවොත්..

නුඹේ මුහුණේ නැගුන හසරැල්..
නැගුනේ කාගේ සතුට වෙනුවෙන්..?
අනේ ඒ රන් සිනහවේ,
සැබැ සෙනෙහස පිරි ගියෙනම්............

නුඹේ නෙතු අග පිරුන කඳුළැල්..
පිරුනේ කාගේ දුකක් වෙනුවෙන්...?
අනේ ඒ වැටි කඳුලු බිදුවේ,
සැබැ සෙනෙහස පිරි ගියෙනම්.........

සුසුම මුවගින් ගිලිහිලා ගිය..
කාගේ සුසුමක දුක නිසාදෝ..
අනේ ඒ නැගි සුසුම් දහරේ,
සැබැ සෙනෙහස පිරි ගියෙනම්......

සුන්දරයි.. අද ලොවම සොදුරුයි...

නුඹ නගන සිනාව, කඳුළ, සුසුම... අව්‍යාජත්වයෙන් නගන්නක්ද....??

Sunday, 19 June 2011

වේලාව....

මා තුළ නක්ෂත්‍ර පිළිබඳ දැඩි එල්බ ගත් විශ්වාසයක් නැත. මන්ද, මා දන්නා අයුරින් නියම යැයි දස දහස් අයගෙන් අසා බලා ඇරඹු සියල්ල සාර්ථකද නැත, අසාර්ථකද නැත. එබැවින්, යම් මිනිසෙකුට වැඩක් ඇරඹිමට හොඳම වේලාව ඔහු හෝ ඇය එම කාර්ය සඳහා යොමු විමට සිත පොළබවා ගන්නා අවස්ථාවය. නමුත්, ඔවුන් ඒ සඳහා ආරම්භයක් ලබා ගැනිමට අපොහොසත් වන්නේ නම් සුරයක් එල්ලා, සතර දිග් භාගයෙම සිටින සැම සකල විදි දෙවි දෙවතාවුන්ගෙන් අවසර ලබා ගැනිම යෙහෙකිය. මන්ද, ඒ තුලින් ඔවුන් තුළ තමා හට තමා පිළිබඳ නැති විශ්වාසයක් යම් බාහිර බලයක් තමන් හා ඇතැයි යන හැගිම තුලින් ලබා දෙන බැවිනි.....

නුඹට නුඹ මෙලොව එළිය දුටු වේලාව පිළිබඳ හෝ නුඹේ දරුවාගේ උපන් වේලාව පිළිබඳ දොස්තර මහතෙකු ලබා දුන් වේලාව පිළිබඳ  සියයට සියක්ම විශ්වාසද...? හරි අපි ඒක පැත්තකින් තියමුකො. ඒක හරියයි හිතමුකො. මොකද පොඩ්ඩක් විතර වෙනස් උනත් පැය දෙකෙන් දෙකට වගේ පිහිටන්නේ එකම ලක්ෂණ කියනවනේ. මං ඔය පැය දෙකේ කතාවත් දැන ගත්තෙ මං දන්න කෙනෙක්ගේ කෙන්දරය බැලුවාම එක තැනකින් දිපු ලග්නය තව තැනකින් මාරු කරනවා. ඇත්තෙන්ම අදටත් ඔය කෙනා ලග්නේ නම් මොකද්ද කියලා මට හිතා ගන්න බෑ කියලා තමා කියන්නේ. එයාට ලග්න දෙකක් තියෙනවා. පස්සේ මට කෙනෙක් කිවා ඕක වෙන්නේ පැය දෙකෙන් දෙකට නැකැත් හදන නිසා එයා ඔය අතර මැදි තැනක ඉපදිලා ඇති කියලා...


කොහොමහරි ඉතින්.. පොඩ්ඩක් එහා මෙහා උනත් වැඩි වෙනසක් නොවි ගැළපෙවි. ඒත් මට හැමදාම තියන එකම ගැටළුව එකම කේන්දරය දෙතුන් දෙනෙකුට පෙන්නුවාම යම් වැඩකට වේලාවල් දෙක තුනක් ලැබෙන්නේ කොහොමද කියන එක. මොකද උපන් වේලාවයි ඔය කියන ග්‍රහයො ටිකයි අපේ රටේ කොහෙ හිටියත් අපි, වෙනස් පිහිටිම් පෙන්නන්න බෑනේ......

මේ වේලාවල්, හදි හුනියම්, වශි ගුරුකම් සියල්ල යම් යම් සම්මත දේවල් සමඟ ආදි කාළයේ පැරැන්නන් තුළ තරයේ එල්බ ගන්නට ඇත. ඒවා තුළ යම් යම් සත්‍යතාවයක් නැතැයි යන්න කියනවාම නොවේ. නමුත් , ගැටළුව නම්  පැරැණ්නන් මෙන් අද වන විට මේ කියන හැමදේම මුදලට සිමා කර ඇති සමාජ ස්ථරයේ, මෙය මුල්‍යමය වටිනා කමක් කරගෙන සිටින අය අතර, දැණුමින් පිරිපුන් අවංකව අය කවුරුන්ද යන්නය............

සිංහල බෞද්ධ සංස්කෘතිය තුළ මේ කියන නක්ෂත්‍ර හා දේව වන්දනාව යන දෙකම අනුමත කරන්නේද යන්න පිළිබඳ මා තුළ හරිම අවබොධයක් නම් නැත. යම් යම් කාර්යයන් සාර්ථක කර ගැනිමට අවශ්‍ය වු විට කවදාවත් පන්සලකට අඩියක් නොතියන මිනිසුන්ද බෝධි පුජා ආදිය කරා ඇදියනු දක්නට ලැබෙන සුලඹ දසුනක්ය. එය තමුන් කරනුයේ තමුනගේ හිත එකඟ කරගෙන කරුණ සපල කර ගැනිමටද නැතිනම් එකපාර පහළ වු ශ්‍රද්ධාවක් නිසාද යන්න කියන දේ ගැන නුඹ මදක් සිතා බලන්න. පළමුවන කාරණාව නිසා නම් මාද ඔබ සමග එකඟය.  

මා අසා ඇති පරිදි යම් යම් කෙම්ද, වාස්තු විද්‍යා ශාස්ත්‍රයටද පදනම වැටි ඇත්තේ මිනිසුන් යම් යම් දෙවල් නිසා ලබා ගත් අත්දැකිම් අනුවය. අර ගස ගේ ඉස්සරහා හොඳ නෑ.. මේක මෙහෙම හොඳ නෑ ...මේවනි දෙවල් ගොඩ නැගි ඇත්තේ බාහිර සතුන්ගෙන් හෝ වෙනයම් සතුරු උපද්‍රව වලින් බේරිම සඳහාය.

අද කළ යුතු දේ අදම කරන්න යන්න අපට කුඩා කළ සිටම උගන්වන දෙයකි. මේ කියන අයුරින් යමෙකු ජිවිතේ එදිනෙදා වැඩ උත්සාහයෙන් කරගන්නේ නම් ඔවුන්ගෙ හොඳම වේලාව එයම වී සාර්ථක වනුද අපි නිතර දකින නිදසුන් අතර වේ. යම් දෙයක් තුළ විශ්වාසයේ එල්බ සිටිමෙන් මිනිසෙකුට ඒ තුළින් මා දකිනා පරිදි ලැබෙනුයේ ශක්තියක්ය. ඕනැම දෙයක් ඕනවට වඩා ඕනෙම නෑ කියනවා වගෙ, අපි අපේ ශක්තියත් කාට කාට උනත් අනවශ්‍ය පරිදි උකස් කිරිම නම් යහපත් නොවේ....

නොපෙනෙනා දෛවයකට ජිවිතය නියම කරනවාට වඩා තමන්ගේ පෙනෙන ශක්තිය අගේය  යන්න මාගේ අදහසයි......

කෙසේ වෙතත් මේ මා දරනා මතයන්ය. එකඟ විමට හෝ විරුද්ධ විම නුඹ සතුය. සංවාදයට විවෘතය.......